/ Jun 07, 2026

මනෝරි සලේගෙන් පොලිස්පතිට දිග ලිපියක්!

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිටියදී අවමන්සහගත, කෲර හා අමානුෂික ලෙස සැලකීමට ලක්ව ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ද ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඇය විසින් යොමු කර ඇති ලිඛිත පැමිණිල්ලකින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර සිය සැමියාට රඳවා තබාගෙන සිටින කාලය තුළ මූලික මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් සැලකීම් සිදුකර ඇති බවට බරපතළ චෝදනා එල්ල කර ඇත.

සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවත් එයට හේතුව ලෙස තමන්ට සිදුවන මානසික පීඩන සහ අසාධාරණ සැලකීම් පෙන්වා දී ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ තිබියදීත් අවශ්‍ය ඖෂධ සහ ආහාර ලබා නොදෙන බවට ද ඇය චෝදනා කර ඇත.

ඔහු අඩි හයක් පළල හා අඩි හතරක් පමණ වන කුඩා කාමරයක දීර්ඝ කාලයක් රඳවා තබා ඇතැයි ද එහි ඇඳක්, පුටුවක් හෝ වෙනත් මූලික පහසුකම් නොමැති යැයි ද ලිපියේ සඳහන් කර තිබේ.

ආහාර බිම තැබූ කඩදාසි කැබැල්ලක් මත ලබාදෙන බවත්, ඇතැම් අවස්ථාවල නරක් වූ ආහාර පවා ලබාදී ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.

තවද වෙනත් රැඳවියන් ඉදිරියේ ඇඳුම් ඉවත් කිරීමට බලකරමින් අවමාන සහගත පරීක්ෂාවන්ට ලක් කළ බවට ද එයින් චෝදනා එල්ල කර ඇත.

එවැනි සිදුවීම් CCTV කැමරා මගින් පටිගත වී තිබිය හැකි බැවින් අදාළ දර්ශන වහාම ආරක්ෂා කරන ලෙස ද ඇය ඉල්ලා සිටී.

සුරේෂ් සලේ මහතාගේ ශාරීරික හා මානසික තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව පවුලේ සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති බවද ලිපියේ සඳහන් වේ.

ඔහු දින 100කට අධික කාලයක් රඳවා තබා ඇතත්, ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණක් බව ද එහි දැක්වේ.

මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපරාධ පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මනෝරි සල්ලේ මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top