ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් සිය කණාගටුව ප්‍රකාශ කර ඇත.
ඔහු සිය මැයි දින කතාවේදී ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ ගනුදෙනුවල ප්‍රතිඵල පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් එම ප්‍රකාශය හරහා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල වන බවත්, එය පරීක්ෂණ කටයුතුවලට කරන අනවශ්‍ය බලපෑමක් බවත් නිගමනය කළ කොමිසම, ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා ප්‍රධාන ලේකම්වරයාට නියෝග පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
උක්ත මැයි දින රැළියේ දී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ, තම පාර්ශවයේ කිසිවෙකු කොමිසම විසින් වැරදිකරුවන් නොකරනු ඇති බවත් චෝදනා කරන පිරිස් වැරදිකරුවන් වී සිරගත වනු ඇති බවත් ය.
කෙසේ වෙතත්, කැඳවීම අනුව නීතිඥවරුන් පිරිසක් සමගින් කොමිසම හමුවේ පෙනී සිටි ටිල්වින් සිල්වා මහතා, තමන් කිසිදු විටෙක කොමිසමේ ස්වාධීනත්වයට හානි කිරීමට හෝ අපහාස කිරීමට අදහස් නොකළ බව කියමින් කොමිසම වෙත සිය කණාගටුව ප්‍රකාශ කළේ ය.






