/ Jul 31, 2026

ADB වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය සහයක්!

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

මෙම මුදල් ආධාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිත අතර ඒ අතරින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන් කර ඇත.

දුරස්ථ ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය නොයුතු බවයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වන බවද ඔහු පවසා ඇත.

මෙම වැඩසටහන යටතේ වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේ ඇතිවිය හැකි බාහිර කම්පනවලට වඩාත් හොඳින් මුහුණ දීමේ හැකියාවද ශක්තිමත් වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top