/ Jun 13, 2026

බංග්ලාදේශ ක්‍රිකට් තරුවට පොලිසිය තඩි බාලා!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට (Nayeem Hasan) එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු සහ අමානුෂික ලෙස පහරදී ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. චැටෝග්‍රෑම්හිදී (Chattogram) සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කැළඹීමක් ඇති කර තිබේ.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී පොලීසිය විසින් කිසිදු හේතුවක් නොමැතිව නතර කර ඇත. අනතුරුව ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට තල්ලු කරමින් පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කර තිබේ.

එහිදී තමන් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවට සිටි පිරිස් සහ නයීම් විසින් නැවත නැවතත් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.

මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නයීම් වෙනුවෙන් හඬ අවදි කර ඇත. බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් (Mushfiqur Rahim) මේ පිළිබඳව සිය දැඩි කනගාටුව සහ අප්‍රසාදය පළ කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අතිරේක නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කාසි ටාරෙක් අසීස් ප්‍රකාශ කළේ, ජාතික ක්‍රීඩකයෙකුට මෙලෙස පහරදීම ඉතා බරපතළ කරුණක් ලෙස සලකන බවයි.

විමර්ශන කමිටු වාර්තාව ලැබුණු වහාම, මෙම සාහසික ක්‍රියාවට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය සහ නීතිමය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top