/ Nov 13, 2025

මහ බැංකු බැඳුම්කර වංචාව:නොදුන් ගිණුම් වාර්තා වහාම දෙන්න. මහා බැංකුවට අධිකරණ නියෝගයක්!

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලබා නොදී තිබෙන ගිණුම් වාර්තා එම දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම විමර්ශන සිදුකෙරෙන අතර සිද්ධියට අදාළ ගිණුම් වාර්තා කීපයක් තම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට අධිකරණය මගින් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කර තිබූ බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම්දුන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම දෙපාර්තමේන්තුව වෙත ඇතැම් ගිණුම් වාර්තා ලබාදී ඇති නමුත් පර්පචුවල් ටෙෂරීස් සමාගමට අයත් හා ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් තවත් ගිණුම් වාර්තා කිහිපයක් විමර්ශන කටයුතු සඳහා ලබාගත යුතුව ඇති බව විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම් දෙන ලදී.

ඒ අනුව එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මෝසමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා උක්ත නියෝගය නිකුත් කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර ඇති අතර එම අපරාධය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top