ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද (28) කැඳවනු ලැබීය
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
අභියාචනාධිකරණ සභාපති විනිසරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේය මෙම පෙත්සම කැඳ වූ අතර එහිදී පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 03 වනදා යළි කැඳවන ලෙස නියම කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙමින් තිබියදී ඊට සම්බන්ධ කරුණක් ගැන එක්තරා පුද්ගලයෙකු ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.
එය අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවේ මීට අදාළව අවශ්‍ය නම් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග අධිකරණය හමුවේ ගන්නා ලෙසය.
පෙත්සම්කාර පාර්ශ්වය අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් ය.
ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.