අද (28) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු පුද්ගලික බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ.
දොඩම්ගොඩ පොලිස් වසමේ 32 -7R කණුව ආසන්නයේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බව පොලිසිය පවසයි.
බස් රථය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හා තවත් පුද්ගලයකු සිට ඇති අතර ගින්නෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් බස් රථයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.