/ May 12, 2026

පාස්කු පන්නයේ IS ප්‍රහාරයක් ඉන්දියාවටත්? ලාංකිකයෝත් ඉන්නවා – ඉන්දීය බුද්ධි අංශ කියයි!

ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානය විසින් අසල්වැසි රටවල සිටින අන්තවාදී විදේශීය මෙහෙයුම්කරුවන් යොදා ගනිමින් ඉන්දියාව තුළ ‘ශ්‍රී ලංකා පන්නයේ’ (පාස්කු ප්‍රහාරයට සමාන) ප්‍රහාර එල්ල කිරීමට නව ත්‍රස්ත උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ඉන්දීය ද ස්ටේට්ස්මන් පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන දේශීය අන්තවාදී කණ්ඩායම් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සමත්වීම නිසා, IS සංවිධානය දැන් පාකිස්තාතානය, බංග්ලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවලින් බඳවා ගත් පුද්ගලයන් ඉන්දියාවට ඇතුළු කිරීමට උත්සාහ කරයි. මෙම විදේශීය මෙහෙයුම්කරුවන් ගැන ඉන්දීය බුද්ධි අංශ සතුව පවතින දත්ත සීමිත වීම ඔවුන්ට වාසියක් වී ඇත.

කලාපීය ඉලක්ක බෙදී යන අයුරු

  • බංග්ලාදේශ මොඩියුල: බටහිර බෙංගාලය සහ බිහාර් වැනි ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්ත ඉලක්ක කරයි.
  • ශ්‍රී ලංකා සහ මාලදිවයින මොඩියුල: දකුණු ඉන්දියාව ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් දියත් කිරීමට පවරා ඇත. අසල්වැසි රටවල සිට ඉන්දියාවට ඇතුළු විය හැකි ගමන් මාර්ග පහසු වීම ආරක්ෂක අංශවල දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.

දකුණු ඉන්දියාවේ මෑතකදී වාර්තා වූ අන්තවාදී සිදුවීම් (තමිල්නාඩුවේ ජමීෂා මුබින් සහ මංගලූරුහි මොහොමඩ් ෂාරික් සම්බන්ධ සිද්ධීන්) 2019 ශ්‍රී ලංකා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහ්රාන් හෂීම් සමඟ සම්බන්ධ බව පරීක්ෂකවරුන් සොයාගෙන ඇත. සහ්රාන් හෂීම් මීට පෙර දකුණු ඉන්දියාවේ රැඳී සිටිමින් අන්තවාදී මතවාද පතුරුවා ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව තුළ IS ජාලය දුර්වල වුවද, මාලදිවයිනේද දැන් දකුණු ඉන්දියාව ඉලක්ක කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මතුවෙමින් පවතින බව නිලධාරීහු පවසති. එසේම IS සංවිධානයේ ‘Dabiq’ සඟරාව හරහා බංග්ලාදේශයේ තරුණයන් අන්තවාදයට පොළඹවා නැගෙනහිර ඉන්දියාවට බලපෑම් කිරීමට ද උත්සාහ දරමින් සිටින බවට එම වාර්තා පවසයි.

බුද්ධි අංශ පවසන්නේ මෙම ප්‍රහාරයන්හි අරමුණ හුදෙක් විනාශය කිරීම පමණක් නොවන බවයි. විදේශීය මෙහෙයුම්කරුවන් ලවා ඉන්දියාව තුළ සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීම හරහා, දැනට අඩපණ වී සිටින ඉන්දියාවේ දේශීය අන්තවාදීන් දිරිමත් කිරීම සහ නව සාමාජිකයන් බඳවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත.

මේ හේතුවෙන් ඉන්දියාවේ සියලුම සංවේදී ගමන් මාර්ග සහ දේශසීමා ආශ්‍රිතව බුද්ධි පරීක්ෂණ සහ ආරක්ෂක මෙහෙයුම් දැඩි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top