/ Nov 24, 2026

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන යාම වෙනුවෙන් අවධානය!

තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසාක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි දෙපාර්ශ්වය අතර අවධානය යොමු වූ අතර, එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 30ක කාලයක් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව සැලසෙන පරිදි 2026 නොවැම්බර් 22 වැනිදා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. දෙරටේ ජනතාව අතර සබඳතා සහ හුවමාරු වැඩසටහන් පහසු කිරීමටත්, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් එය වැදගත් පියවරක් බව මෙහිදී පිළිගැනිණි.

සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම, සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අදාළ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම සහ වැදගත් සමුද්‍රීය හා වරාය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි භූමිකාව සැලකිල්ලට ගනිමින් සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

විශේෂයෙන්ම ආහාර සැකසීම, තාක්ෂණ හුවමාරුව සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත එක්ස්පෝ ශ්‍රී ලංකා (Expo Sri Lanka) ප්‍රදර්ශනයට සහභාගී වී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත ආයෝජකයන්ට සහ ව්‍යාපාරික නියෝජිතයන්ට මෙහිදී ආරාධනා කළාය.

බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය හරහා කලාපීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සහ ආධාර වෙනුවෙන් තායිලන්ත රජය වෙත අග්‍රාමාත්‍යතුමිය සිය කෘතඥතාව පළ කළ අතර දෙරට අතර පවතින ශ්‍රම සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Paitoon Mahapannaporn මහතා ඇතුළු දූත පිරිස, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top