හොරණ, අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ සිදු වූ ගිනි අනතුර සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (11) දින හොරණ අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී කරුණු දැක්වූ පොලිසිය කියා සිටියේ මෙම අවසනාවන්ත අනතුර අවස්ථාවේ අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ දොරවල් සහ ජනේල ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන් එහි සිටි පිරිස් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවක් මතු වූ බවයි.
විවිධ ආබාධ සහිත පුද්ගලයන් රඳවා සිටි මෙම “සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ 14 දෙනාගෙන් 09 දෙනෙකුගේම සිරුරු භාර ගැනීමට මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති බව ද එහිදී අනාවරණය විය.
මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 38 හැවිරිදි වන ඉසුරු අනුෂ්ක නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කරනු ලැබීය.
සමාජ මාධ්‍ය හරහා ලොකු අයියා නමින් පෙනී සිටින මොහු, ගින්න හටගත් අවස්ථාවේදී අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ දොරවල් සහ ජනේල ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන් එහි සිටි පිරිස් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවක් මතු වූ බව අඟුරුවාතොට පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඊට අමතරව, සිදු වූ මෙම මහා විපත පිළිබඳව පොලිසිය හෝ ගිනි නිවන ඒකකය වෙත දැනුම් දීමට සැකකරු කිසිදු පියවරක් ගෙන නොමැති අතර, ඔහු එම අවස්ථාවේදීද ගින්න වීඩියෝ කර තමන්ගේ ටික්ටොක් ගිණුමට මුදාහැරීමට කටයුතු කර ඇති බව ද පොලිසිය විසින් මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.






