/ Jun 22, 2026

පළාත් සභා තිබ්බොත් අපි දිනුම් – සජිත්ගේ පුරෝකථනය

සමගි ජන බලවේගය දිගින් දිගටම පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටින අතර සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණයට සූදානම් නමුත් රජය ජනමතයට ඡන්දයට බිය නිසා පළාත් සභා මැතිවරණය නොපවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

රජය ජනතාව ලබා දුන් අසීමිත බලය තුළ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් යන බවත් දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව මොවුන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවත් ඉදිරි මැතිවරණවල දී කිසිම පාර්ශ්වයකට විශාල මන්ත්‍රී නියෝජනත්වයක් අවශ්‍ය නොවන බවත් සාමාන්‍ය සුළු බහුතරය පමණක් ප්‍රමාණවත් බවත් විශාල මන්ත්‍රී නියෝජනයක් ලැබුණු විට බල උන්මාදයෙන් කටයුතු කිරීම පමණක් සිදුවන බවත් හෙතෙම කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (21) මහනුවර දී මල්වතු පාර්ශ්වයේ මහා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත බවද ඔහු කියා සිටියි.

පක්ෂ දෙකේම අනන්‍යතාව සුරක්ෂිත කරමින් මේ ගමන ක්‍රියාත්මක කරන බවත් ජයග්‍රහණය ලබා ගැනීමට බහුතර ඡන්දයක් අවශ්‍ය බවත් ඒ සඳහා බහුතර විශ්වාසයක් අවශ්‍ය බවත් 2019 සහ 2024 දී ජනතාව බොරු සෝබනයට රැවටුණු බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පසුගිය මැතිවරණවල දී ආසන දිනාගත් ආකාරය මන්ත්‍රී ධුර ලබා ගත් ආකාරය සියලු දෙනාට පෙනෙන බවත් ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සේම සියලු පක්ෂවලට සමගි ජන බලවේගය හා එක්විය හැකි බවත් විපක්ෂ නායකයා තවදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top