/ Aug 24, 2026

යටිතල පහසුකම් සංවර්ධනය කියන්නේ රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක්!

යටිතල පහසුකම් සංවර්ධනය, රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවත්, එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන බැවින් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඇයගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹදී ආරම්භ කළ පැසිෆික් ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ (PAQS) 2026 වාර්ෂික සම්මේලනයේදීය.

ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනය (IQSSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මේලනය “Constructing the Evolution: Unleashing Human Intelligence” යන තේමාව යටතේ පැවැත්වේ.

තාක්ෂණය මූලික වූ ලෝකයක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශීය සහ දේශීය ප්‍රමාණ සමීක්ෂණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් මෙයට එක්ව සිටිති.

සම්මේලනය නිල වශයෙන් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, යටිතල පහසුකම් සංවර්ධනය යනු කවර හෝ රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවයි. එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන අතර, යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අද දින ගනු ලබන මෙම තීරණ අනාගත පරම්පරාවේ ජීවන තත්ත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රවර්ධනය කෙරෙහි කෙලින්ම බලපාන බැවින් එය දිගුකාලීන ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

මෙහිදී ප්‍රමාණ සමීක්ෂකයින්ගේ වර්තමාන කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ අගමැතිනිය, සාම්ප්‍රදායික මිනුම්කරණය සහ පිරිවැය ඇස්තමේන්තු කිරීමෙන් ඔබ්බට ගොස් ආයෝජන ඇගයීම, අවදානම් කළමනාකරණය, පිරිවැය සැලසුම්කරණය, කොන්ත්‍රාත් පරිපාලනය සහ තිරසාරභාවය වැනි පුළුල් පරාසයක ඔවුන් නියැලෙන බවද ප්‍රකාශ කළාය.

සංකීර්ණ යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් නිවැරදි හා තොරතුරු සහිත තීරණ ගැනීමට රජයකට මෙම වෘත්තීයමය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත්, අනාගත ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය විද්‍යාත්මක පදනමක්, නිසි ප්‍රතිපත්ති, වෘත්තීය නිපුණතාව සහ තාක්ෂණය වගකීම්සහගත ලෙස භාවිත කිරීම මත පදනම් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ මහතා, PAQS විධායක කමිටු සාමාජිකයින්, විදේශීය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top