/ Oct 22, 2026

කලා ඔය සහ දැදුරු ඔය ගංවතුර මට්ටමට – ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි!

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින ඇත මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලබන අතර, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා සිටියි.

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව දැනුම් දී තිබේ.

එමෙන්ම රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්‍රතාවයකින් කලා ඔයාට ජලය මුදාහරිමින් පවතින බව සඳහන්.

ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ගේ හා මගීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු අටක් විවෘත කර ඇති බව සඳහන් වෙයි.

ඉන් තප්පරයට ගණ අඩි 7,884ක ජලධාරිතාවක් කලාඔයට මුදවා හැරේ.

මේ අතර, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.

එම ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ දින ඇදහැලුණු අධික වර්ෂාව සමග අද අලුයම තෙක් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ බවත්, ඉන් එක් වාන් දොරටුවක් (22) අලුයම ස්වයංක්‍රීයව වැසී ගොස් ඇති අතර තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top