/ Oct 25, 2026

අඩු පීඩන කලාපය වයඹ දෙසට – ප්‍රදේශ රැසකට අදත් වැසි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී අද (25) දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, හෙට (26) උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති වන බවත් දැනුම් දී තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළංද ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top