පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කතානායකවරයා වෙත ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සිය X ගිණුමේ පණිවිඩයක් තබමින් මන්ත්‍රිවරයා පවසන්නේ පසුගිය කාලය පුරා මෙරට තුළ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන විවිධ ක්‍රියාකාරකම් කළ බවත් පසුගියදා යූ.එස්.ඒ. ආයතනය හරහා ලැබුණු ඇමෙරිකානු ආධාර මෙරට තුළදී භාවිත කෙරුණු ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති බවත්ය.
මෙම ආධාර භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාව නිසි විමර්ශනයක් පැවැත්වීම මඟහැරිය නොයුතු බව ද ඔහු සිය X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.