/ Nov 05, 2026

දික්ඕවිටට රැගෙන ආ යාත්‍රාවේ කෝටි 300ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී රුපියල් බිලියන 3ක (කෝටි 300ක) පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

අදාළ නෞකාව අද (05) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට අත්අඩංගුවට ගත් ධිවරයින් 05ක් ද සමඟ රැගෙන විත් තිබුණි.

අදාළ යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ
මෙම යාත්‍රාවේ තිබූ උර 10ක් තුළ අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද සැකයක් මත නාවික හමුදාව විසින් ඊයේ (04) දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට ලියාපදිංචි මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබුණි.

අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අද (5) උදෑසන එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පිරිස දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර
අත්අඩංගුවට ගත් යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වන විට භාර දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top