/ Aug 17, 2026

ආරක්ෂක අංශයන්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවන්න ජනපතිගෙන් අලුත් උපදෙසක්!

ආරක්ෂක අංශය සතු සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව දැනට යුධ, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් එහිදී සාකච්ජා කර ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද වැඩිදුරටත් අවධානය යොමු කර තිබේ.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top