විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවක්කුළම් නෙළුම් වැවේ ඇති කුඹුක් ගස්වලට කිසිදු හානියක් සිදුව නැතැයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවක්කුළම් නෙළුම් වැවේ තිබූ කුඹුක් ගස් 500කට වැඩි සංඛ්‍යාවක් කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමකින් විනාශ වී ඇතැයි ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වූ බවත්, ඒවා පදනම් විරහිත බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් එම අමාත්‍යාංශය කියයි.
එක් සීමාවක තිබු වසර සිය ගණනක් පැරැණි කුඹුක් ගස් මුල් පිළිස්සී වැටීමෙන් පසු නැවත ගිනි ගැනීමත් සිදුව ඇති බවත් එයින් කුඹුක් ගස් 2,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත්, මීට අමතරව මේ වන විටත් ගිනි ගනිමින් පවතින කුඹුක් ගස් සංඛ්‍යාව 300 කට ආසන්න බවත් අදාළ මාධ්‍ය වාර්තාවල පළ වූයේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.
පවතින අධික වියළි කාලගුණයත් සමඟ වැව ආශ්‍රිත තණ පිටියේ කොටසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහිදී ජලය පිරෙන කාලය තුළදී වැව තුළ ඉතිරි වී තිබෙන දිරාගිය විශාල ගස් කිහිපයකටද ගින්න පැතිරී ගොස් ඇති බවත් කෙසේ වෙතත් එම වැව්තාවුල්ල අවට විවිධ වර්ගයේ විශාල ගස් රැසක් පවතින බවත්, අමු ගස් කිහිපයක අතුවලට හැර වෙනත් ගස්වලට ගිනි ගැනීම් සිදුව නොමැති බවත් පුත්තලම අතිරේක දිසා වන නිලධාරිවරයා තහවුරු කළේ යැයි ද එම අමාත්‍යාංශය කියයි.
ඒ මහතාගේ උපදෙස් පරිදි පරණ එළුවක්කුළම් නෙළුම් වැව ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වූ වනාතවිල්ලුව බිට්ටු වන නිලධාරීවරයා මෙම කරුණු තහවුරු කළ බවත් ගින්න මේ වනවිට පාලනය වී ඇති බවත්, අදාළ නිලධාරිවරයා උපුටා දක්වමින් අමාත්‍යාංශය කියයි.






