/ Sep 18, 2026

ජාජබ – තොණ්ඩමන් ආණ්ඩුවත් පරණ පාරේමයි – නුවරඑළිය ප්‍රා. සභාවේ එකම විපක්ෂ මන්ත්‍රීගෙන් චෝදනා!

බාල ක්‍රිෂ්ණන් පද්මසිරි නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු ජනඅරගල සන්ධානය නියෝජනය කරමින් එම සභාව නියෝජනය කරන්නෙකි.

කඳපොල මෙතෝදිස්ත විද්‍යාලයෙන් සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලැබූ බාලක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා සෑහෙන කලක පටන් තැපැල් දෙපාර්තමේන්තුවෙ රැකියාව කරයි. එසේ ම තම ප්‍රජාව මූලිකව විවිධ සමාජ කටයුතුවල නියැළෙයි.

පාසල් කාලයෙන් පසුව ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් හැටියට වසර 10ක් පමණ කටයුතු කළේ ය. මලයහ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නංවන්නට ඔහු ඉතා මහන්සි වී කටයුතු කරනු ලැබීය. පසුව හින්දු සංස්කෘතික සමාජය නම් සංවිධානය නිර්මාණය කර අධ්‍යාපනය මගහැරුණු මලයහ දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළේ ය. ස්වේච්ඡාවෙන් ගුරුවරයෙක් ලෙස එස්ක්ඩේල් දෙමළ විද්‍යාලයේ වසර 8ක් පමණ සේවය කරන ඔහු දරුවන්ගෙ අධ්‍යාපනය නැංවීමට සිය කාලය බොහෝ කැප කරයි.

හෙතෙම දේශාපලනය අරඹන්නේ වාමාංශික දේශපාලනයට එක්වීමෙනි.  වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිස නිර්මාණය කළ නව වාමාංශික පෙරමුණට ඔහු සම්බන්ධ විය.පසුව සිරිතුංග ජයසූරිය සහෝදරයා නායකත්වය දරන එක්සත් සමාජවාදී පක්ෂයට සම්බන්ධ වී කටයුතු කළ බාලක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ඔවුන්ගේ කම්කරු ව්‍යාපාරයේ ද  කටයුතු රැසක් ඉටු කළේ ය. දේශපාලන කටයුතුවල අඛණ්ඩව නිරතවීම නිසා එම පක්ෂයේ මධ්‍යම කමිටුවටද තේරී පත් වුවද  2008 වසරෙදි එම පක්ෂයෙන් ඉවත්වීමට ඔහු තීරණය කළේ යම් ගැටලුකාරී තත්වයන් නිසා ය. 

වර්තමානයේ දී මාක්ස් ලෙනින්වාදී පක්ෂයට සම්බන්ධ වී කටයුතු කරන බාලක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ජනඅරගල සන්ධානය නියෝජනය කරමින් නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කටයුතු කරයි. එහි එකම විපක්ෂ මන්ත්‍රීවරයා ඔහු ය. නුවරඑළිය ප්‍රාදේශීය සභාව ජාතික ජනබලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය එක් බලය හොබවන ප්‍රාදේශීය සභාවකි.

බාලක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාට අනුව ප්‍රාදේශීය සභාවේ කිසිම ක්‍රම වෙනසක් සිදුව නැත. කටයුතු සිදුවන්නේ පෙර පරිදි ම ය. එහෙත් තමාගේ විපක්ෂ නියෝජනය සහ හඬ නැගීම නිසා පාලක පක්ෂය පෙර පරිදි ම කටයුතු නොකරන බවද හෙතෙම විශ්වාස කරයි. වංචා දූෂණ සිදුවන්නේ නම් ඒවා හෙළි කරන්නට පසුබට නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තමා නියෝජනය කරන මලයහ ජනතාවට පර්චස් 20ක් සමඟ නිවාස ලබා දිය යුතු බව ඔහුගේ අදහසයි. එසේ ම එම ජනතාවත් ස්වදේශීය කොටසක් හැටියට පිළිගැනීමත් අවශ්‍ය බවත් විශේෂයෙන් ම තම ජනතාවට ජීවත් වීමට ශක්තිමත් ආර්ථික පදනමක් නිර්මාණය කළ යුතු බවත් බාලක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.  වර්තමාන ආණ්ඩුව තේ වගාව තවදුරටත් ප්‍රවර්ධනය නොකරන බව පෙනී යන බැවින් මලයහ ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top