අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
අදාළ නඩුවේ තීන්දුව කියවාදීම සඳහා නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම අවස්ථාවේදී ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියාය.
ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබූ බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරන ලදී.
එම දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව තම සේවාදායිකාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.
එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැඳවීමට නියම කර ඇති බැවින්, එතෙක් තම සේවාදායිකාව පෙර ඇප මත මුදාහරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව, මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හිමි අයිතිය අනුව ඇය එම අභියාචනය ඉදිරිපත් කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට යටත්ව ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ නඩුව යළි සැප්තැම්බර් 27 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කළේය.






