/ Nov 06, 2026

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලට හසුවෙයි!

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) පෙරවරු 9.05ට සහ 9.15ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ සේවය කරන සුරාබදු කෝප්‍රල්වරයෙකු වන පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන පුද්ගලයින්ය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරීවරයා සහ අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැඩබලන නිලධාරියා ලෙස සේවය කළ කාලසීමාවේදී තම අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමක ගිණුම්වලින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම අදාළ සමාගමේ ස්කාගාරයේ සේවය කළ සුරාබදු නිලධාරියෙකු ලෙස තම නිල බලයෙන් ලබා ගැනීමට බලයක් නොමැති එම චෙක්පත් අල්ලස් ලෙස භාරගැනීම සම්බන්ධයෙන් සුරාබදු කෝප්‍රල්වරයාටද චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top