අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන අතර ආසන පටි සකස් කර ගැනීම වෙනුවෙන් ලබා දී තිබූ වසරක සහන කාලයද අවසන් වී තිබේ. එම සහන කාලය අදින් අවසන් වෙයි.
හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.
ඒ අනුව ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට සිට අවසර ලැබෙන්නේ නැත.
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කරයි.
ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු හා අනතුරුවලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.
මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් අරමුණු කරගෙන නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම රථයක පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවත්, ආසන පටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.






