/ Sep 18, 2026

දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවන් රටේ දේශපාලනය තීරණය කරන බලවේගයක් විය යුතුයි – රවුෆ් හකීම්

ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන ගමන තීරණය කරන බලවේගයක් බවට දෙමළ භාෂාව කතා කරන ජනතාව පත්විය යුතුය යන අරමුණින් දෙමළ භාෂාව කතා කරන ජනතා සභාව පිහිටුවා ඇති බවත්, මුස්ලිම් හා දෙමළ ජනතාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වයන් අවසන් කළ යුතු බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

සුළුතර ජන ප්‍රජාවන් සම්බන්ධයෙන් පාලකයන් තවදුරටත් නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කරන්නේ නම්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලැබුණු ප්‍රතිචාරය මෙන්ම ඉදිරි මැතිවරණවලදීද ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති බව ඔහු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක නායක අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 26 වැනි ගුණසමරු උත්සවයට සහභාගී වෙමින් කළ කතාවේදීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම පක්ෂය ආරම්භ කළ සමයේ නැගෙනහිර පළාතේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට මුස්ලිම් කොංග්‍රසය ප්‍රබල අභියෝගයක් වූ බවයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය වැනි පක්ෂවලට මුස්ලිම් කොංග්‍රසය සමඟ තරග කර ආසන ලබා ගැනීමේදී දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදු වූ බවද ඔහු පැවසීය.

වසර දෙකකට පමණ පෙර ඇති වූ ජන අරගලය හේතුවෙන් ඇති වූ කලකිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම් හේතුවෙන් සිංහල ජනතාව අතර ඇති වූ මතවාදී වෙනස්කම් නිසා, සුළුතර පක්ෂවල සහාය නොමැතිව ජනාධිපතිවරණයක් ජයගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවද හකීම් මහතා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට තමන් දැඩි අවධානයෙන් කටයුතු කරන බවත්, අසාමාන්‍ය තත්ත්වයක් තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලැබුණු බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයේදී සියයට 44ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පාර්ශ්වයක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159ක් ලබාගත් බව පවසමින් අහංකාර ලෙස හැසිරෙන්නේ නම්, පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාරයක් නැවත ලබාදීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි දේශපාලනය තීරණය කරන බලවේගයක් බවට දෙමළ භාෂාව කතා කරන ප්‍රජාව පත්වීමේ අරමුණින් දෙමළ භාෂාව කතා කරන ජනතා සභාව පිහිටුවා ඇති බවද ඔහු සඳහන් කළේය.

මඩකලපුව – කොරලෙයිපත්තු සහ කල්මුණේ වැනි ප්‍රදේශවල සීමා සම්බන්ධ ගැටලු පවතින බවත්, දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවන් අතරද ගැටුම්කාරී තත්ත්වයන් දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය. එම වෙනස්කම් ජනතා සභාවේ කටයුතුවලට බාධාවක් නොවිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උපකමිටු පිහිටුවමින් කටයුතු කරන බවද සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තම ප්‍රජාවට සහ කාත්තන්කුඩියට විශාල චෝදනාවක් එල්ල වූ අවස්ථාවේදී සත්‍යය හෙළි කිරීම සඳහා තමන් ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තු ආසන පවා අත්හැර සාමූහිකව ඉල්ලා අස්වී විවිධ විරෝධතා පැවැත්වූ බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස බුද්ධි අංශ ක්‍රියාකාරීත්වයක් තිබුණේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන සිදුවෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළි කළ යුතු බව තමන් පවසන අතරම, දෙමළ භාෂාව කතා කරන ජනතා සභාවේ කටයුතු අඩාල කිරීම සඳහා උතුරේ රෝහලක සිදුවීමක් පදනම් කරගනිමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළ බවද ඔහු චෝදනා කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වූ බවට කියන කුමන්ත්‍රණ ආකාරයේ තවත් ක්‍රියාකාරකම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව තමන් දෙමළ භාෂාව කතා කරන අනෙකුත් නායකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.

අවසානයේ ඔහු අවධාරණය කළේ තරුණයන්ගේ අනාගතය, අධ්‍යාපන අවස්ථා සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. සමාජය තුළ ගැටලු හා මතභේද තිබුණද, සියලු දෙනා එක්ව එකමුතුව සිටීම තමන්ගේ ශක්තිය බවත්, බෙදී සිටින විට තම හඬ දුර්වල වන නමුත් එක්ව සිටින විට තම ඉල්ලීම් කිසිවෙකුට නොසලකා හැරිය නොහැකි බවත් ඔහු පැවසීය.

එබැවින් හැඟීම්වලට වඩා සිතීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරමින් ඉදිරියේදී තම අයිතිවාසිකම් දිනා ගැනීමටත්, තම ප්‍රදේශවල සංවර්ධනය තහවුරු කිරීමටත් සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top