ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (27) රාත්‍රියට යෙදී ඇති සුබ මොහොතින් සිදු කෙරේ.
අද රාත්‍රී 06:43 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය සහ ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය.
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් විශාල සැදැහැවතුන් පිරිසක් මාර්ග දෙපස රැස්ව සිටිති.
මේ අතර ඊයේ (26) රාත්‍රියේ වීදි සංචාරය කළ සිව්වන රන්දෝලි පෙරහැරේ සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයේ ‘වාසනා’ ඇතා විසිනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘පුලතිසි රාජා’ සහ ‘සිංහරාජා’ යන ඇතුන් එහි දෑලේ ගමන් කළහ.
අද රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව, හෙට අලුයම ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතය. අනතුරුව ගෙඩිගේ රජමහා විහාරයේ සිට ශ්‍රී දළදා මාලිගාව දක්වා දහවල් පෙරහැර ගමන් කරනු ඇත.
පෙරහැර සාර්ථකව නිමා වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වේ.






