ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කර, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ව්‍යවස්ථා සංශෝධන සිදු කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීම විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමෙන් හෝ නව බඳවා ගැනීම් සිදු කිරීමෙන් පමණක් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා අධිකරණ පද්ධතිය තුළ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම ඇතුළු පුළුල් වැඩකොටසක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධ නීතිමය කරුණු මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා මහජනතාව මෙන්ම නීතිඥවරුන්ද නඩු කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බවත්, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට රජය කටයුතු කරන බවත් පැවසීය.
අධිකරණ ක්ෂේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කළද, සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් අනතුරුව බඳවා ගැනීමට හැකි වී ඇත්තේ 33 දෙනෙකු පමණක් බවයි.
එමෙන්ම, නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් ලබාදීමටද රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






