/ Nov 03, 2026

අලි ඇතුන්ගේ දිවි රකින,අලි මිනිස් ගැටුම අවම කරන ‘හස්ති සේනා’ මෙහෙයුම ආරම්භ වෙයි!

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම ඊයේ (02) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශය නිවේදනය කරයි.

පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම, අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු මූලික කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කළ බවයි.

අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරයි.

අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීම මෙන්ම ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි.

මෙම අවස්ථාවට වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස , පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඒ අතර, 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම ද සහභාගී වූහ.

හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුමට දායක වී ඇති අතර, කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායම් 10ක් ද ඊට එක්ව සිටිති.

හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙයි.

අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කරමින් අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top