/ Sep 21, 2026

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකියි – කාලගුණයෙන් නවතම නිවේදනයක්!

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ තත්ත්වය හමුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 100 පමණ තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top