සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අය වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සජබ හිටපු සංවිධායක චරිත අබේසිංහ රුපියල් ලක්ෂ 1200ක අල්ලස ලබා ගන්නා අවස්ථාවේ එවක අධිකරණ ඇමැති වූ විජේදාස රාජපක්ෂද ඩුබායිහි රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කියා සිටියා ය.
“ස්වාමිනි, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගැනීමේ ගනුදෙනුව සඳහා මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ 2023 මාර්තු 25 වනදා, යළි පැමිණ ඇත්තේ මාර්තු 29 වනදා.
මෙකී කාලය තුළ මේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඔහු ඩුබායි රාජ්‍යයට යාමට පිටත්ව ඇත්තේ 2023 මාර්තු 21. ඒ වගේම යළි මෙරටට පැමිණ ඇත්තේ මේ සැකකරුවන් දිවයිනට පැමිණීමට දිනකට පෙර, එනම් මාර්තු 28.
ඔහු කුමන කාරණාවකට ඩුබායි රාජ්‍යයට ගියාද, එහිදී මොනවාද කළේ, කාවද හමුවුණේ කියලා සොයන්නත්, මේ අපරාධයට ඔහුගේ සම්බන්ධතාවයක් තියෙනවාද කියලා සොයන්නත් වැඩිදුර විමර්ශන කරනවා.
ඒ වගේම පසුගිය නඩු වාරයේදී අපි කිව්වා මේ සැකකරුවන් අල්ලස් අත්තිකාරම් ලෙස ලබාගත් ලක්ෂ 1,200ක මුදලින් ලක්ෂ 200ක් ආපසු ලබාදීමක් කරලා තියෙනවා කියලා. ඒ මුදල මේ පළමු සැකකාර චරිත් විසින් ලසන්ත නැමැත්තෙකුට දීලා, මිදිගම රුවන් මාර්ගයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා හරහා හරක්කටාගේ බිරිඳ වන මදුවන්තිට යවා තිබෙනවා.
එහිදී ඔය ලක්ෂ 200 චරිත් නැමැති දෙවන සැකකරු ලසන්ත නැමැත්තාට දී තිබෙන්නේ නුගේගොඩ, නාවලපාර, විජයබා මාවත කියන ස්ථානයේදී.
මේ ස්ථානය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණා එම ස්ථානයේ තමයි මේ දෙවන සැකකාර රඛිත රාජපක්ෂ නැමැත්තාගේ පියා වන විජයදාස රාජපක්ෂගේ වාසස්ථානය තිබෙන්නේ කියලා. “






