/ Aug 24, 2026

අද කාලගුණය!

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා ඉහළ යා හැක.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top