එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආසියා සහ ශාන්තිකර කලාපීය නියෝජිතයන් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (2) උදෑසන පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ පරිසර මණ්ඩලයේ 8 වන කාර්යාංශ සාමාජිකයෙකු සහ GEF ව්‍යාපෘති හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සහ UNEP අතර පවතින දිගුකාලීන සබඳතාව අගය කරමින් ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී, මෙරට ජාතික පාරිසරික ප්‍රමුඛතා රැසක් වෙනුවෙන් UNEP හි තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී UNEA තරුණ යෝජනාව (Youth Resolution) සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ලබාදුන් මඟපෙන්වීමට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කෙරුණු අතර, එම යෝජනාවට අනුකූලව මෙරට තුළ සැලසුම් කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
ඒ යටතේ, තරුණ ප්‍රජාවගේ පාරිසරික දැනුවත්භාවය ඇගයීම සඳහා “ජාතික පාරිසරික සාක්ෂරතා දර්ශකයක්” (National Environmental Literacy Index) සකස් කිරීම, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා “තරුණ පාරිසරික කමිටු” සහ විශ්වවිද්‍යාල තරුණ සංසද පිහිටුවීම මෙන්ම ක්‍රීඩාව තුළින් පරිසරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා UNEP හි තාක්ෂණික සහය, ධාරිතා සංවර්ධනය සහ ගෝලීය අරමුදල් සපයා ගැනීමට ඇති හැකියාවන් පිළිබඳව අවධානය යොමු විය.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ජාතික වායු ගුණත්ව නිරීක්ෂණ පද්ධති දියුණු කිරීම, දත්ත විශ්ලේෂණය සහ ප්‍රතිපත්තිමය මඟපෙන්වීම් සඳහා UNEP හි සහයෝගය ඉල්ලා සිටි අතර, තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම සහ චක්‍රීය ආර්ථිකයක් උදෙසා “වර්ධිත නිෂ්පාදක වගකීම” (EPR) පිළිබඳ ප්‍රතිපත්තිමය උපදෙස්, ප්ලාස්ටික් ජීවන චක්‍ර කළමනාකරණ තාක්ෂණික විශේෂඥතාව සහ නියමු ව්‍යාපෘති සඳහා ද සහය අපේක්ෂා කරන බව ප්‍රකාශ විය.
එමෙන්ම, ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ එක්ව විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රවාහන (e-mobility) ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ GEF 9 ජාතික උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වන “තිරසාර නගර ඒකාබද්ධ වැඩසටහන” සඳහා UNEP සහය අපේක්ෂා කරන බව පැවසීය.
දකුණු ආසියානු රටවල් අතර පාරිසරික දැනුම හුවමාරු කරගැනීමේ කලාපීය මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය සහතික කරමින්, ඉදිරි GEF 9 මූල්‍ය චක්‍රය තුළදී ද UNEP ආයතනයේ තාක්ෂණික මැදිහත්වීම ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රත්‍යස්ථතාව උදෙසා අඛණ්ඩව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.






