/ Jun 02, 2026

යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි විනාශ කරලා : පොලිසියට පැමිණිල්ලක්

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ අධ්‍යයන පීඨයේ සිසුන් වෙසක් උත්සවය නිමිත්තෙන් ප්‍රදර්ශනය කළ වෙසක් සැරසිලි කිහිපයක් හඳුනා නොගත් පිරිසක් විසින් කඩා විනාශ කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සංවිධායක සිසුන් කෝපායි පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මෙම වෙසක් වැඩසටහන සංවිධානය කළ යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය සංගමයේ දෙමළ සහ සිංහල සිසුහු දෙපාර්ශ්වයම සාමාජිකත්වය දරති.

මීට පෙර ද වෙසක් සහ පොසොන් වැනි ආගමික හා සංස්කෘතික උත්සව දෙමළ සහ සිංහල සිසුන්ගේ සහයෝගයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය භාෂා තුනෙන්ම නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පිරිසක් පෙන්වා දෙන්නේ, යාපනය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන සියලු ජන වර්ග හා ආගමික කණ්ඩායම්වල සිසුන්ට තම සංස්කෘතික හා ආගමික කටයුතු නිදහසේ පැවැත්වීමේ අයිතිය හිමි විය යුතු බවයි.

එමෙන්ම, මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අවශ්‍ය නම් විශ්වවිද්‍යාල මට්ටමින් විනය ක්‍රියාමාර්ග ද ගත යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top