/ Jun 25, 2026

රාජ්‍යයේ ශිෂ්ටසම්පන්නභාවය වෙනුවෙන් සියලු මිලේච්ජ ක්‍රියා අපි හෙළිදරව් කරනවා – ජනපතිගෙන් සහතිකයක්!

කුඩා කණ්ඩායමක දේශපාලන බලය, පවුලක බලය වෙනුවෙන් ඉතිහාසයේ සිදුකළ මිලේච්ච්ජ පහර දීම්, ඝාතනයන් සියල්ල එකී වින්දිතයින්ගේ යුක්තියත්, හමුදාවේ කීර්ති නාමයත්, රාජ්‍යයේ ශිෂ්ට සම්පන්නභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වෙමිනි.

අද දවස වන විට සාධාරණය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය විපක්ෂයට ඔරොත්තු නොදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

”ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද?එය සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තා වෙලා තියෙනවා බුද්ධි අංශ උපයෝගී කරගෙන තිබෙන බව. සඟවන්න ඕනෙද? කීත් නොයාර් පැහැරගෙන ගිහින් පහර දෙනවා. රඳවාගෙන ඉන්නේ හමුදාවේ ආරක්‍ෂිත නිවස්නයක කියල වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන්ට පහර දෙනවා. පොද්දල ජනතාට පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මේ සිවිල් ගැටුම් නෙවෙයි රාජ්‍යයක් තමන්ගේ බලය, පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කළ අපරාධ. තාජුඩින්ගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද සිරසට ගිනි තියනවා. ඉරුදින කාර්යාලයට ගිනි තියනවා. සියතට බෝම්බ ගහනවා. එහෙම ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් හිටියා. මේක රටට හෙළිදරව් කරන්න ඕනේ නැද්ද? රටේ සුදු වෑන් බියක් තිබුණේ නැද්ද? අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධව උද්ඝෝෂණ කරපු මිනිහ පැහැරගෙන ගියේ නැද්ද? ඒවා සාමාන්‍ය සිවිල් ගැටුම් නෙවෙයි. කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාවෙන් යෙදවලා මේ මිලේච්ඡ ඝාතනයන් කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මිලේච්ඡ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.ඒ වින්දිතයින්ගේ යුක්තිය වෙනුවෙන් අපි එය කරන්න ඕනේ. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේක කරන්න ඕනේ. ඒ වගේම රාජ්‍යයේ ශිෂ්ට සම්පන්නභාවය වෙනුවෙන් අපි මේ දේ කළ යුතුයි.”

මේ අතර පසුගිය සමයේ අපේ රට පැවතියේ අශිෂ්ට රාජ්‍යයක් ලෙසින් බව ජනාධිපතිවයා පැවසුවේය.

”අපේ හමුදාවන්, බුද්ධි අංශ කෙරෙහි ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකර ඇති කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩවට පත්වෙන්නේ නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා…දේශීයවත්, ජාත්‍යන්තරවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාවන් වෙනුවෙන් හමුදාවන් හා බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඔවුන් ඔ්නෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි ඒ කාර්ය කරනවා. හැබැයි හමුදාවේ හෝ බුද්ධි අංශයේ කුඩා කණ්ඩායම් රාජ්‍ය උවමනාවකට, යම් පවුලක බලය වෙනුවෙන්, දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් යම් කාරණා ඉටුකර ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබාදෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top