අවිධිමත් ආකාරයට සකස් කරන ලද ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවට වරදකරු කරමින් පනවන ලද වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමට සහ රුපියල් ලක්ෂයක දඩය අහෝසි කරන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශ කොළඹ මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබු අභියාචනය ඉවත දැමීමට එම අධිකරණයට තීරණය කර තිබේ.
තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම දඬුවම ස්ථිර කරනු ලැබීය.
2022 වසරේ මැයි මස 27 වැනිදා එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පළමුව මෙම තීන්දුව ලබා දෙමින්, ව්‍යාජ ලේඛන සහ වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත උල්ලංඡනය කිරීමේ චෝදනාව මත ඇය එහිදී වරදකාරිය බවට පත් කර තිබුණි.
2022 වසරේදී මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම වූ වහාම ඇය බන්ධනාගාරගත කෙරුණද, පසුව දැඩි කොන්දේසි සහිත රුපියල් 500,000ක පුද්ගල ඇප සහ රුපියල් 15,000ක මුදල් ඇප මත ඇයට ඇප හිමි වූ බැවින් ඇය වහාම සම්පූර්ණ සිරදඬුවම් කාලය විඳීමට ලක් නොවීය.






