/ Jun 11, 2026

සලේගේ බිරිඳගෙන් සහ නීතිඥවරයාගෙන් CID අධ්‍යක්ෂ වෙත ලිපි දෙකක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා ලිපි දෙකක් යොමුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අදාළ නඩුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලා සෑම දිනකම රෝගීන් බැලීමට ලබාදෙන කාලයේදී ඔහුගේ බිරිඳට සහ පුතාට ඔහු බැලීමට අවස්ථාව ලබාදෙමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දැමූ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.

මෙවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ලිපියක් යොමු කර ඇත.

මේ අතර සුරේෂ් සලේ මහතාගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය සේවාදායකයාව දිනපතා බැලීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මරාන්තික උපවාසයක යෙදී සිටින සිය සේවාදායකයාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකර ඔහුගේ අයිතිවාසිකම් හා සුබසාධනය සැලසීමට තමන්ට වෘත්තීමය වගකීමක් ඇති බවයි.

එසේම සිය සේවාදායකයා සමඟ අඛණ්ඩව අදහස් හුවමාරු කරගැනීම අවශ්‍ය වන බවත් එහෙයින් දිනපතා සිය සේවාදායකයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top