ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යන වෙබ් අඩවි 24කට මෙලෙස මෙරටට පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අගෝස්තු 4 වැනිදා සිට අදාළ පියවර ගෙන ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය, 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබෙන අතර සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවල නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.






