වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පියවර ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ක්‍රියාවෙහි යොදවමින් එම ගැසට් නිවේදනය පළකර ඇත.
වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
රාජ්‍ය නිලධරයන්ගේ(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයට අදාළව) සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීම හා නව තාක්ෂණික ප්‍රවණතා හා ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස මෙම කොමිෂන් සභාව ස්ථාපනය කර ඇත.
තෙල්ගේ අශෝක පීරිස්, ගරු කුරුප්පුගේ ඛේමා ඈන් විදුයා ස්වර්ණාධිපති, අලගියාදුර ප්‍රේමලාල් අබේසිංහ ගුණසේකර , නියන්ගම බාලසූරියගේ මොන්ටි රණතුංග , නඩරාජ් රවිචන්දර් සහ වෛද්‍ය රන්දොඹගේ විමල් ජයන්ත යන මහත්ම මහත්මීන් මෙම වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස කටයුතු කරනු ලබයි.






