/ Aug 30, 2025

ෆිදෙල් සමඟ 99 වසරක්!

මනුෂ්‍යත්වය අත්විඳින දුෂ්කර කාලයන් ගැන කීමට ලෝක ඉතිහාසය බොහෝ දේ ඉතිරිකර ඇත. අද අපට සහ සමහර විට තවත් බොහෝ දෙනෙකුට විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. අද (අගෝස්තු 13) ඉතිහාසයේ ඉතාමත් බලගතු චරිතයක් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අනූනව වන උපන්දිනයයි.

‘ෆිදෙල් කැස්ත්‍රෝ’ගේ ආදරණීය නායකත්වයෙන්, ‘කියුබානු විප්ලවය’ විසිවන සියවසේ වැදගත්ම සිදුවීම්වලින් එකක් ලෙස පවතින බව නොකියාම බැරිය. මන්ද, ධනවාදයේ දුර්වල පාලකයෙකු සිටි රටක ජනතාව, ඇමරිකානු මෘගයාට ඉතා ආසන්න දුරකින් සිටම තම විලංගු ඉවත්කරගැනීමට සමත් වූ ආකාරය පෙන්නුම් කළ බැවින් එය සොයාබැලිය යුතුය.

ඔවුන් විප්ලවය කළේ, ප්‍රධාන වශයෙන් යුදඅවි භාවිතයෙන් පමණක් නොව, අදහස්, එකමුතුකම සහ සහයෝගීතාවය භාවිතා කරමිනි. එහි දෘෂ්ටිමය වෙනස වූයේ, විප්ලවවාදී කියුබාව එහි සම වයසේ මිතුරන්ගෙන් වෙන්කර හඳුනාගන්නා සහ එහි අමරණීයභාවය සහතික කරන ‘ජාත්‍යන්තරවාදී’ කියුබාවක් වීමය.

‘ගරිල්ලා යුද්ධය’ අතරතුර කැස්ත්‍රෝ විසින්ම ප්‍රකාශ කළ පරිදි, “අපගේ පුරෝගාමියා ‘ජෝසෙ මාටි’ පැවසුවේ, “වැදගත් වන්නේ අතේ ඇති ආයුධ ගණන නොව කෙනෙකුගේ නළලේ ඇති තරු ගණන බවයි … යුද්ධයේ ජයග්‍රහණය රඳා පවතින්නේ, අවම ආයුධ ප්‍රමාණයක් සහ උපරිම සදාචාරාත්මක වටිනාකම් මතයි”.

කියුබාවේ විප්ලවවාදී අරගලය පිළිබඳ කැස්ත්‍රෝගේ අවබෝධය සහ ඔහුගේ රට තීරණාත්මක වැදගත් කාර්යභාරයක් ඉටුකළ විවිධ සාකච්ඡා සඳහා එය අදාළ කරගැනීමට ඔහු උත්සාහ කළ ආකාරය පිළිබඳ අපට අවබෝධයක් ලබාදෙයි.

කියුබාවේ විප්ලවවාදීන්ට ආරම්භයේ සිටම මග පෙන්වූ⁣යේ ‘නිර්ධන පංති ජාත්‍යන්තරවාදය’යි. එහි  ආචාරධර්ම හා ආදර්ශය මගින් ‘පන්ති විඥානය’ පෝෂණය කිරීමෙන්, වැඩකරන ජනතාව ඔවුන්ගේ අරමුණට බලමුළු ගැන්වීමට බෙහෙවින් උපකාරීවිය.

කියුබාවේ ‘සමාජවාදී විප්ලවය’ පිළිසිඳ ගනී

කියුබාවේ කෙටි විප්ලවවාදී ඉතිහාසය පුරාම, එළිපත්තේ සිටින අධිරාජ්‍යය විසින්, කුඩා දිවයිනට එරෙහිව සිදුකරන ලද ද්‍රෝහී කුමන්ත්‍රණයෙන් පසු, වැදගත් තීරණ ගැනීමේ අවශ්‍යතාවයට ඔවුන්  මුහුණ දුන්හ. වෙනත් විකල්පයක් නොතිබූ විට, ඔවුන් මෙන්ම සංකීර්ණ තත්වයට මුහුණ දුන් වෙනත් සෑම ජාතියකම තරුණයින්, ඔවුන් හා සමානව කටයුතු කළහ. නැතහොත් එසේ කිරීමට අදහස් කළහ. කෙසේ වෙතත්, කියුබාව සම්බන්ධයෙන් ගත් කල, ඉතිහාසය පුරා බොහෝ අවස්ථාවන්හිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. යැංකි දේපළක් බවට පත්ව තිබූ කියුබාවේ අනාගත රැඩිකල් වෙනස්කම් ඇති කළ හැකි සීමිත සමාජ දියුණුවේ අවදානම සීමා කිරීම හැර වෙනත් අරමුණක් ඔවුන්ට නොතිබිණ. එකල ඇමරිකා එක්සත් ජනපදය විසින් එම රට තුළ නිර්මාණය කරන ලද දර්ශනය හේතුවෙන්, කියුබාවේ ‘සමාජවාදී විප්ලවය’ පිළිසිඳ ගන්නා ලදී. 1945 දී අවසන් වූ දෙවන ලෝක යුද්ධය, ලොව ප්‍රධාන ආර්ථික හා මිලිටරි බලය ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කළ අතර, යුධ පිටියෙන් බොහෝ දුරස්ව පිහිටි රට, පෘථිවියේ බලවත්ම රට බවට පත් කළේය.

1953 දී අසාර්ථක වූ මොන්කාඩා බැරැක්ක ප්‍රහාරයෙන් පසු ෆිදෙල්ව කියුබාවේ සිරගත කරනලද අතර පසුව මෙක්සිකෝවට පිටුවහල් කරන ලදී. එහිදී ඔහු ජූලි 26 ව්‍යාපාරය පිහිටුවා ගත්තේය. තරුණ ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් යුත්, ජූලි 26 වනදින ‘මොන්කාඩා ප්‍රහාරය’ හමුදාමය ජයග්‍රහණයක් නොවූවත්, එය විරුද්ධවාදීන්ට අභියෝග කළ විප්ලවයක අතිමහත් සදාචාරාත්මක හා දේශපාලනික පදනම බවට පත්විය. මෙම ප්‍රහාරය කියුබාවේ සන්තියාගෝ හි මොන්කාඩා බැරැක්ක ඉලක්ක කර ගත්තකි. මෙහෙයුම උපායශීලීව අසාර්ථක වුවද, එහි සංකේතාත්මක බලය අතිමහත් විය. එය එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් ‘ෆුල්ජෙන්සියෝ බැටිස්ටා’ ආඥාදායකත්වයේ කෲරත්වය හෙළිදරව් කළ අතර ස්වෛරීභාවය, යුක්තිය සහ ගෞරවය සඳහා සටන්කිරීමට පරම්පරාවක් බලමුළු ගැන්වීය. ෆිදෙල්ගේ 1953දී අධිකරණය හමුවේ පැවැත්වූ “ඉතිහාසය මාව නිදොස් කරනු ඇත” ඓතිහාසික කතාවේදී, අනාගතයේ ජයග්‍රහණය කරන විප්ලවීය දැක්ම ඉදිරිපත් කළේය. කැස්ත්‍රෝ කියුබානුවන්ගෙන් ඉල්ලා සිටියේ, 1940 කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුනර්ජීවනය කිරීමේ යුතුකම ඉටුකරන ලෙසයි.

දැඩි විප්ලවවාදීන් පිරිසක් කියුබාවේ කඳුකරයට ගොස් ඔවුන්ගේ හමුදා අත්දැකීම් අඩුකම පරීක්ෂාවට ලක් කළහ. ‘ෆිදෙල් කැස්ත්‍රෝ’ගේ නායකත්වයෙන් යුත් මෙම ජාතික විමුක්ති සටන්කාමීන්, මුලින් පරාජයන්ට මුහුණ දුන් අතර හවානාහි ප්‍රධාන දේශපාලන පක්ෂවලින් සම්පූර්ණයෙන්ම පාහේ හුදකලා විය. ඔවුන් තම ජනතාව කෙරෙහි ඇති නොපසුබට උත්සාහය, පරිත්‍යාගශීලීභාවය හේතුවෙන් පීඩිත පන්තිය දිනාගත්හ. ‘සියෙරා මයෙස්ත්‍රා’ සිට, ඔවුන්ගේ හොඳ ශක්තිමත් සිසු කණ්ඩායම් හවානාහි ජනාධිපති මන්දිරයට පහරදීමටත්, කාන්තා කණ්ඩායම් හවානාහි වීදි ප්‍රධාන පෙළපාලිවලින් පුරවාගැනීමටත් පියවර ගත්හ. එය ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් ඒකාධිපතියා, ලාස් වේගාස් සහ මියාමි පදනම් කරගත් මාෆියාව වෙනුවෙන්, කියුබාවේ ධනයේ භාරකරු වූ ‘ෆුල්ජෙන්සියෝ බැටිස්ටා’ගේ පාලනයට එරෙහිව මහා වැඩ වර්ජනයක් පැවැත්වීමටත් උනන්දු කළහ. 1958 ශීත ඍතුවේ දී, කැරැල්ල ආරම්භ වී කෙටිකලකින් පසු, බැටිස්ටා පාලනය වාෂ්ප විය. බැටිස්ටා තම සගයා වන මැර කල්ලියේ මේයර් ‘ලැන්ස්කි’ සමඟ දිවයිනෙන් පිටව ගියේය. කැස්ත්‍රෝගේ කුඩා කණ්ඩායම හවානාවට ඇතුළු වී බිඳවැටුණු රාජ්‍යයේ වගකීම භාර ගත්තෝය.

1959 අලුත් අවුරුදු දිනයේදී, ‘ෆිදෙල් කැස්ත්‍රෝ’,  ‘චේගුවේරා’ සහ ‘කැමිලෝ සියෙන්ෆියුගෝස්’ගේ නායකත්වයෙන් යුත් මෙම විප්ලවවාදීන් කියුබාවේ, ඒකාධිපතියා බලයෙන් පහකළේය. එයින් ඇමරිකානු අවශ්‍යතා සහ කීර්තියට බරපතළ පහරක් එල්ලවිය. ඇමරිකානු සමාගම් 1898 සිට පුංචි කියුබානු දිවයිනේ ආධිපත්‍යය දැරූහ. ඔවුන්, 1959 වනතෙක්ම කියුබාවේ පතල්, ගව ගොවිපලවල්, මහජන උපයෝගිතා සහ තෙල් පිරිපහදුවලින් 80 % කට වඩා, දුම්රිය මාර්ගවලින් 50% ක් සහ සීනි කර්මාන්තයෙන් 40 % ක් පාලනය කළහ. ඇමරිකාව අදටත් කියුබාවට අයත් ‘ග්වාන්තනාමෝ බොක්කෙහි’ සිය නාවික කඳවුර බලෙන් පවත්වාගෙන යයි.

විප්ලවයෙන් පසු නව රජය, යුනයිටඩ් ෆෘට් සහ තවත් ඇමරිකානු සමාගම් දෙකකින් අක්කර මිලියනයකට වඩා නැවත අත්පත් කරගත්තේය.  කැස්ත්‍රෝ ඉක්මනින්ම රටේ අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය කිරීමට සහ ඉඩම් නැවත බෙදාදීම මෙන්ම සාමකාමී ජීවන රටාවක් ඇතිකිරීම ජනතාවගේ මහත් කෘතඥතාවයකටත්,  ආඩම්බරයටත් හේතුවිය. 

කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමේ CIA කුමන්ත්‍රණය

නව කියුබානු පාලනයේ ගෙල ආර්ථික වශයෙන් සිරකිරීමට ආරම්භයේදීම ඇමරිකාව උත්සාහ ක⁣ළේය. කැස්ත්‍රෝ ආධාර සඳහා සෝවියට් සංගමය වෙත යොමුවිය. 1960 මාර්තු 17 වන දින, කැස්ත්‍රෝ බලයෙන් පහකිරීම සඳහා කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ‘අයිසන්හවර්’ ‘සීඅයිඒ’(CIA) සංවිධානය වෙත උපදෙස් දුන්නේය. ඒ අනුව,  ‘බේ ඔෆ් පිග්ස්’(Bay of pigs) යනුවෙන් හැඳින්වූ , 1961 අප්‍රේල් මාසයේදී කියුබාවේ නිරිතදිග වෙරළ තීරයේ සිදුකරන ලද අසාර්ථක හමුදාව ගොඩබෑමේ ඇමරිකානු මෙහෙයුමක් සිදුකළහ. කියුබානු විප්ලවයට විරුද්ධ වූ, කියුබාවෙන් පිටුවහල් කළ අයගෙන් එය සමන්විත වූ අතර, ඇමරිකානු රජය විසින් රහසිගතව සහ ඍජුවම අරමුදල් සපයන ලදී. මෙම මෙහෙයුම සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවකදී සිදුවූ අතර, එහි අසාර්ථකත්වය කියුබාව, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර සබඳතාවලට බලපෑවේය.

1961 මාර්තු 28 අයිසන්හවර්ගේ අභාවයෙන් පසු, ඇමරිකානු ජනාධිපති ලෙස ‘ජෝන් කෙනඩි’ පත්විය. වසර දෙකක කෙටි කලක් ඇමරිකාව පාලනය කළ ඔහුගේ ජීවිතයේ අපූර්ව අවසාන මාස කිහිපය තුළ, කෙනඩි කැස්ත්‍රෝගේ කියුබාව සමඟ සබඳතා සම්බන්ධයෙන් ගමන්මග ආපසු හැරවීමක් ගැන සිත යොමුකළේය. ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ මිත්‍රත්වය සහ සංහිඳියාව සඳහා බලාපොරොත්තුව පෙන්වන අතරතුර, කියුබාව තුළ සීඅයිඒ හරහා කඩාකප්පල් කිරීමේ නව වටයක්ද අනුමත කළේය. කැස්ත්‍රෝ කෙරෙහි ඔහුගේ දෙගිඩියාව පැහැදිලි වූයේ, ලතින් ඇමරිකාව සමඟ කටයුතු කිරීමේදීය. එහිදී කෙනඩි ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිසංස්කරණ ගැන කතාකළ නමුත්, මර්දනකාරී ඒකාධිපතියන්ට සහාය දුන්නේය. 1963 මාර්තු මසදී ‘ගෝතමාලාවේ’ හමුදා කුමන්ත්‍රණයකට සහායදීම වැනිදේ දිගටම කරගෙන ගියේය.

කෙනඩිගෙන් නව ප්‍රවේශයක්

මේ වනවිටත් ලතින් ඇමරිකාවේ, ඇමරිකානු ප්‍රතිපත්තිය නැවත සිතා බැලීමේ සලකුණු පෙන්වීම ආරම්භ වී තිබිණ. ABC ප්‍රවෘත්ති වාර්තාකාරිනී ‘ලීසා හොවාර්ඩ්’ 1963 අප්‍රේල් මාසයේදී කැස්ත්‍රෝ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් මගින් ඇමරිකාව එසේ කිරීමට කැමතිනම් සබඳතා සාමාන්‍යකරණය කිරීමට ඔහු කැමැත්ත ප්‍රකාශකළ බව වාර්තා කළාය. “මිසයිල අර්බුදය අතරතුර” සෝවියට් සංගමය සමඟ අර්බුදයෙන් පසු කැස්ත්‍රෝ, කෙනඩි කෙරෙහි කලකිරීමට පත්ව සිටි බව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් හොඳින් දැනසිටියහ. 1963 සැප්තැම්බර් මාසයේදී කෙනඩි, තම රාජ්‍ය තාන්ත්‍රික ‘විලියම් ඇට්වුඩ්’ගෙන් කියුබානු නායකයින් සමඟ සහයෝගීතාවයකට ඇති හැකියාව සොයාබලන ලෙස ඉල්ලා සිටියේය. කැස්ත්‍රෝ සමඟ සංවාදයක් කළ හැකිද යන්න තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති ‘ඇඩ්ලායි ස්ටීවන්සන්’, කියුබාවේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ‘කාලෝස් ලෙචුගා’ සමඟ “විචාරවත් සම්බන්ධතාවක් ඇති කරගැනීමට” අවසර දුන්නේය. තානාපති ස්ටීවන්සන්, කණගාටුවෙන් යුතුව පැවසුවේ “සීඅයිඒ එක තවමත් කියුබාව භාරව සිටින” බැවින් මෙයින් වැඩි යමක් අපේක්ෂාකළ නොහැකි බවයි. කෙනඩි වෙනත් ප්‍රවේශයක් ගැනීම සඳහා උත්සාහ කිරීමට තීරණය කළේය. ප්‍රංශ මාධ්‍යවේදී ‘ජීන් ඩැනියෙල්’, කැස්ත්‍රෝ සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට කියුබාවට යාමට සූදානම් බව දැනගත් පසු, කැස්ත්‍රෝ හමුවීමට පෙර කෙනඩි හමුවීමට ඔහුට අවස්ථාව ලබාදුන්නේය. කෙනඩි, එම සාකච්ඡාවේදී ‘කියුබානු විප්ලවය’ පිළිබඳ අසාමාන්‍ය ලෙස අනුකම්පාසහගත චිත්‍රයක් ඉදිරිපත් කළේය.

“බැටිස්ටාගේ පාලන සමයේදී මගේ රටේ ප්‍රතිපත්ති හේතුවෙන්, යටත්විජිත ආධිපත්‍යය යටතේ පැවති සියලුම අප්‍රිකානු කලාප ඇතුළුව, ආර්ථික යටත්විජිතකරණය, නින්දාව සහ සූරාකෑම මගින් කියුබාව තරම් නරක වූ තවත් රටක් ලෝකයේ නොමැතිබව මම විශ්වාස කරමි. බැටිස්ටාගේ පාලනය සම්බන්ධයෙන්, මම පළමුව කියුබානු විප්ලවවාදීන් සමඟ එකඟ වෙමි. එය සම්පූර්ණයෙන්ම මට පැහැදිලිය.” “ෆිදෙල් කැස්ත්‍රෝ ‘සියෙරා මයේස්ත්‍රා’ හිදී කළ ප්‍රකාශය මම අනුමත කළෙමි. ඔහු යුක්තිය ඉල්ලා සිටියා. විශේෂයෙන් කියුබාව දූෂණයෙන් මුදවා ගැනීමට ආශා කළේ”යැයිද කෙනඩි පැවසීය.

පසුව, ජීන් ඩැනියෙල් සති තුනක් කියුබාවේ සංචාරය කළ නමුත්, කැස්ත්‍රෝ සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට ගත් උත්සාහයන්හි කිසිදු ප්‍රගතියක් නොලැබුණි. ඩැනියෙල් කියුබාවෙන් පිටවීම ළං වනවිට, අනපේක්ෂිත ලෙස කැස්ත්‍රෝ, ඩැනියෙල්ගේ හෝටලයට පැමිණියේය. පැය හයක සංවාදය අතරතුර, කෙනඩි සමඟ ඩැනියෙල් කළ සම්මුඛ සාකච්ඡාවේ සෑම විස්තරයක්ම ඔහුට ඇසීමට අවශ්‍ය විය. කෙනඩිගේ හැසිරීම ගැන කෙනඩිටම තිබූ විවේචන කැස්ත්‍රෝ සමග ප්‍රකාශ කළත්, කැස්ත්‍රෝද නව ගමනක් සඳහා බලාපොරොත්තුවක් තබා ගනිමින්, කෙනඩි ඝාතනය වීමට දින දෙකකට පෙර මෙසේ පැවසීය;

“උතුරු ඇමරිකාවේ නායකයෙකු ඉදිරියට එනු ඇතැයි බලාපොරොත්තු තියාගන්න මට පුළුවන් කමක් නැත. නමුත්, ඒ කෙනඩි වෙන්න බැරිද? ඔහුට පක්ෂව දේවල් තිබෙනව. කවුද කැමති තමන් ජනප්‍රිය නැති බව තහවුරු කරගැනීමට, විශ්වාසයන් වෙනුවෙන් සටන් කිරීමට, සත්‍යය පැවසීමට සහ වඩාත්ම වැදගත් ලෙස, විවිධ ජාතීන්ට තමන්ට ගැලපෙන පරිදි ක්‍රියාකිරීමට ඉඩදීමට. තවමත් මෙම මිනිසා කෙනඩි විය හැකිය. ඉතිහාසයේ දෑස් හමුවේ, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා වීමට, ඇමරිකාවේ පවා ධනපතියන් සහ සමාජවාදීන් අතර සහජීවනයක් පැවතිය හැකි බව අවසානයේ තේරුම් ගත හැකි නායකයා වීමට ඔහුට තවමත් හැකියාව තිබේ. ඔහු “එවිට ලින්කන්ට වඩා ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වනු ඇත.”

කියුබානු මිසයිල අර්බුදය අවසන් වී වසරකටත් අඩු කාලයක් තුළ, කැපී පෙනෙන පරිවර්තනයකට භාජනය විය. 1962 ඔක්තෝම්බර් මාසය වනවිට, ඊට පෙර වසර දහසයේ ඕනෑම අවස්ථාවක සිතාගත නොහැකිව තිබූ, සීතල යුද්ධ ආතතීන් ලිහිල් කිරීමට ජනාධිපති කෙනඩි සහ සෝවියට් නායක නිකිතා කෘෂෙව් පියවර ගෙන තිබුණි. සෝවියට් සංගමය සමඟ යුද්ධයකට තල්ලු කළ හැකිව තිබූ ඇමරිකානු බලවත් බලවේගයන්ට, කෙනඩි නිර්භීතව අභියෝග කළේය. න්‍යෂ්ටික යුද්ධයේ ආරම්භය අවහිරවිය. තරුණ කැස්ත්‍රෝ, කියුබානු මිසයිල අර්බුදයේ සාකච්ඡාමය විසඳුමක් පිළිගැනීමද හේතුකොටගෙන, ඇමරිකානු ජනාධිපතිවරයාට ලෝකය නැවත සකස්කිරීම සඳහා ඔහු සහ කෘෂෙව් බෙදාගත් සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් ලැබීමට පෙර, 1963 නොවැම්බර් 22 වනදින ටෙක්සාස්හී ඩැලස් වීදිවලදී, ජෝන් කෙනඩි ජනාධිපතිවරයාව ඇමරිකානු බලවතුන්ම මරා දමනු ලැබීය. ඔහු තම සමාරම්භක කතාවේදී, ‘ගිනිසිළුව’ නව පරම්පරාවකට ලබාදී ඇතිබව පැවසුවේය. නමුත්, කෙනඩිගේ මරණයත් සමඟ, ගිනිසිළුව පැරණි පරම්පරාවකට, එනම් ජොන්සන්, නික්සන්, ෆෝඩ් සහ රේගන් පරම්පරාවට ආපසු ලබාදෙන ලදී. ඔවුන් එතරම් වයස්ගත නොවූවත්, නායකයින් රට යුද්ධයට සහ මර්දනයට නැවත ගෙනයන විට කෙනඩිගේ වසරවල පොරොන්දු ක්‍රමානුකූලව විනාශ කරන්නට විය.

ෆිදෙල් මග පෙන්වූ ‘ජාත්‍යන්තරවාදය’

1958 දී විප්ලවවාදී යුද්ධය අතරතුර ෆිදෙල් කැස්ත්‍රෝ විසින් මෙහෙයවන ලද කියුබානු විප්ලවයේ ප්‍රධාන සිදුවීම් සිදුවූ ස්ථානය වූ ‘සියෙරා මයෙස්ත්‍රා’ කඳුකරයේ සිට විකාශනය කරන ලද කැස්ත්‍රෝගේ කතාවකින් ඔහු, “යටත්වූ හෝ අල්ලාගන්නා ලද බැටිස්ටාගේ සොල්දාදුවන්ට, මානුෂීය ලෙස සැලකීම කැරලිකරුවන්ගේ ගරිල්ලා ආචාර ධර්මවල  හදවතයි” කීය.

කියුබානු නායකයාගේ ඒත්තුගැන්වීම වූයේ, විප්ලවීය පරිවර්තනයක් සිදු කිරීම සඳහා බලය ලබාගැනීමේ ඍජු උත්සාහයේදී, ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව වැඩකරන ජනතාවගේ දැවැන්ත සහභාගීත්වයෙන් පමණක් සැබෑ විප්ලවයක් කළහැකි බවයි. එබැවින් කියුබාවේ වර්ධනය වන ගරිල්ලා හමුදාව, නව සමාජයක් ගොඩනැගීමට එක්වන සූරාකෑමට ලක්වූ කම්කරුවන් සහ ගොවීන්ගෙන් අතිමහත් බහුතරයකින් සමන්විත විය.

“නිර්ධන පංති ජාත්‍යන්තරවාදය” විදේශ ප්‍රතිපත්තියක් පමණක් නොව, එය විප්ලවයේම ප්‍රකාශනයක් විය. “ෆිදෙල් මුලින්ම අයිතිවන්නේ කියුබාවේ වැඩ කරන ජනතාවට වුවත්, ඔහු ලොවපුරා පීඩිත හා සූරාකෑමට ලක්වූ ජනතාවටද අයත් වේ” යනු ලොව පීඩිතයන්ගේ පිළිගැනීම වන්නේ මෙබැවිනි.

කියුබානු විප්ලවයට එරෙහිව අධිරාජ්‍යවාදී බලවේග රාශියකින් අඛණ්ඩ නීති විරෝධී අවහිර කිරීම්, මිලිටරි ආක්‍රමණ, කඩාකප්පල්කාරී ක්‍රියා, ඝාතන උත්සාහයන් සහ ගෝලීය විෂ සහිත ප්‍රචාරක යුද්ධය සැලකිල්ලට ගත්කල, කියුබානු විප්ලවයේ පැවැත්ම පැහැදිලි කරන්නේ මෙම ජාත්‍යන්තරවාදයයි.

ලොව වඩාත්ම බලගතු නොබැඳි රට ලෙස, පෙර නොවූ විරූ ජාත්‍යන්තර මිත්‍රත්ව ජාලයක් සහිත කියුබාව, අද දක්වාම ඇමරිකානු ආක්‍රමණයට ඔරොත්තු දීමට ඇති හැකියාව පෙන්නුම් කරන්නේ, අධිරාජ්‍යවාදයට එරෙහිවීමේ වැදගත්ම අවිය ලෙස කියුබානු ‘සහයෝගීතාවය’ පවත්වාගෙන යාමයි. ඇමරිකාව, ඊශ්‍රායලය හැරුණුකොට මුළු ලොවම කියුබාවට එරෙහි සම්බාධකවලට විරුද්ධව නැගී සිටින්නේ එනිසාය.

අවුරුදු හැටහයකට පෙර ජයග්‍රහණය කළ විප්ලවයක් පිළිබඳව, 2016 දී වයස අවුරුදු අනූ⁣වේදී මියගිය නායකයෙකුගේ සිතුවිලි අඩංගු කතාව, තමන් කිසිදා නොලබන ජයග්‍රහණය ගැන සිහින දකින අතීතකාමී ප්‍රවීණයන්ට පමණක් නොව, ඉතිරිව ඇති දේ පිළිබඳ ජීවමාන, හුස්ම ගන්නා මුළු වාම ලෝකය පුරාම ‘ෆිදෙල්ව කියවීම’ අවශ්‍ය වන්නේ එනිසාමය.

ෆිදෙල්ගේ අදහස් අරගලය

ඔබට අදහස් මරා දැමිය නොහැක. තුන්වන ලෝකය සඳහා ෆිදෙල් හුදෙක් තවත් නායකයෙකු නොවේ. ඔහු එහි අභිලාෂයන්ගේ කැඩපත විය. එම කැඩපත කිසිදා බිඳී නොයනු ඇත. ෆිදෙල් කැස්ත්‍රෝ පැවැත්වූ කතා විප්ලවය සඳහා පන්ති කාමර විය. මෙම කතා හරහා, ෆිදෙල් ජනතාව ඉදිරියට පැමිණියේ රජය මුහුණ දුන් තත්වයන් සහ ගැටලු අවංකභාවයෙන්,  ඓතිහාසික සන්දර්භයට ඇතුළත් කිරීමෙනි.

(හවානාහී, ෆිදෙල් කැස්ත්‍රෝ කෞතුකාගාරයේ ඇති ඔහු ආමන්ත්‍රණය කල podium එකක්) 

ඔහුගේ සෑම කතාවක්ම බලහත්කාර පැහැදිලි කිරීමේ චාරිකාවක්, ඉතිහාස පාඩමක්, සමාජ විද්‍යා පාඩමක්, දේශපාලන ආර්ථික පාඩමක් සහ සාහිත්‍යය පිළිබඳ පාඩමකි. ෆිදෙල් විසින් ප්‍රකාශ කරන ලද ජාතික විමුක්තිය සහ මාක්ස්-ලෙනින්වාදය පිළිබඳ සම්ප්‍රදායන්, අත්දැකීම් සහ වාචික ඉතිහාසයන් ඔහු අධිරාජ්‍යයේ හදවතේ සිට සැතපුම් කිහිපයක් දුරින් සමාජවාදී අත්හදා බැලීමක් ගොඩනැගීමේ නිරත වූ නව ප්‍රේක්ෂකයින් සමඟ එය කතා කරන විට ජීවමාන විය. ෆිදෙල් කැස්ත්‍රෝ සමාජවාදී චින්තනය ආරක්ෂා කිරීම සහ ජනතාවගේ විඥානය ස්ථිර ලෙස බලමුළු ගැන්වීම සඳහා අදහස් සටනක් දියත් කළේය. ඔහුගේ ජීවිත පොතේ එකතු කරන ලද අත්දැකීම් හා කථා, වයස අවුරුදු අනූවක් වී  අපෙන් සමුගන්නා තෙක් ජීවිතයේ අවසාන දශක විසින් ඉදිරිපත් කළ අදහස්වල සටන නව පරම්පරාවන් ඉදිරියට ගෙන යයි.

අදටත් එම දැක්ම කියුබාවේ අනන්‍යතාවයේ කේන්ද්‍රීය අංගයක් ලෙස පවතී. කියුබානු ජනාධිපති ‘ඩයස් කැනල්’ සිය දේශනයක් අතරතුර ප්‍රකාශ කළ පරිදි, “කියුබානු විප්ලවය උපත ලැබුවේ ‘කැරැල්ලේ බීජයකින්’ වන අතර එය ‘නොබිඳිය හැකි සමාජවාදී ව්‍යාපෘතියක් ලෙස ලොවපුරා පීඩිතජනයා සඳහා ‘ප්‍රදීපාගාරයක්’ බවට පරිණාමය විය”.

දැන් එහි අටවන දශකය පසුකරන කියුබානු විප්ලවය, විසිවන සහ විසිඑක්වන සියවස්වල වඩාත්ම කල් පවතින හා ප්‍රතිවිපාක සහිත දේශපාලන අත්හදා බැලීම් වලින් එකකි. එය බිඳවැටීමේ අනාවැකි ප්‍රතික්ෂේප කර ඇත. එය ආක්‍රමණ, ඝාතන, ආර්ථික වැටලීම් සහ වසංගත වලින් බේරී ඇත. තවත් ලෝකයක් ඇතිකළ හැකි යැයි විශ්වාස කරන අයට එය දිගින් දිගටම ආශ්වාදයක් ලබාදෙනු ඇත.

වසර 66ක් පුරාවට කියුබාවට එරෙහිව ඇමරිකාවේ අවහිර කිරීම හා වෙළඳ තහනම විශාල වරදකි, අපරාධයකි. සම්බාධක සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර එය ලබා දීමට අදහස් කළ බොහෝ දෙනා අපේක්ෂා කළ පාලනතන්ත්‍ර වෙනසක් ඇති නොවී සාමාන්‍ය කියුබානුවන්ට ක්‍රමානුකූලව හානි සිදුකර ඇත. කියුබානුවන් එයින් අසීමිත පීඩාවකට ගොදුරුවිය. සියලු සදාචාරාත්මක හා මානුෂීය තර්ක පසෙක තැබූවත්, තනිකරම ආර්ථික කේන්ද්‍රීය දෘෂ්ටි කෝණයකින්, කියුබාවට එරෙහි සම්බාධක ඇමරිකානු ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ටද හානිකර ඇත. ඝෝෂාකාරී කියුබානු විරෝධී කියුබානු-ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයින්ට ෆිදෙල්ගේ මරණය වඩාත් වැදගත් විය.

ෆිදෙල් සහ ලංකාව

1959 දී කියුබාවේ විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකාව කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රටවලින් එකකි. කියුබාවේ නායකයා ලෙස දශක පහක් පුරා පැවති පාලන සමයේදී කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවද, ඔහුගේ විශේෂ දූත ‘අර්නස්ටෝ ‘චේ’ ගුවේරා’ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර කල් පවතින සම්බන්ධතාවයකට වේදිකාව සැකසීය.

මෙම ලිපිය තුළින් මා මතුකරන්නට යෙදුණු, ෆිදෙල් කැස්ත්‍රෝ මගපෙන්වන “ මානුෂීය ලෙස සැලකීම කැරලිකරුවන්ගේ ගරිල්ලා ආචාර ධර්මවල  හදවතයි” තුළින් ලංකාවේ වාම යැයි කියාගන්නා, කැරලිකරුවන්ගේද ඛේදවාචකය මෙනෙහි කරන්නට පුළුවන. එය උතුරේ හෝ දකුණේ සිදුවුවද මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවූ නින්දාවකි. රාජ්‍ය බලයේ මිලිටරි මර්දනයට මුහුණදීමට ආයුධ ගන්නා කැරලිකරුවන්ගේ වෙඩිපත්තු වන්නේ, පීඩිතයන් වෙත හෝ පීඩනයට එරෙහිව සටන්කරන්නන් වෙත නම් එය කෙසේ සාධරණීකරණය කරමුද?

හවානා වීදි දිගේ ‘ෆිදෙල්’ සෙව්වෙමි

2007 වසරේ මැයි 01 දින මා හවානා නගරයේ මැයි රැළියට සහභාගී වූයේ, ෆිදෙල් දැකීමේ ඉමහත් ආශාවෙනි. ඔහු ගිලන්ව සිටි බැවින් පැමිණියේ නැත. රාවුල් කැස්ත්‍රෝ ඇතුලු නායකයින් අපිට ආචාර කළෝය. ඉන් වසර පහලොවකින්, 2022 දී කියුබාවට ගිය මා, ෆිදෙල්ගේ අභාවයෙන් පසු, නැවත ෆිදෙල් සෙව්වෙමි. හවානාි සැරිසැරූ එක් වීදියකවත් ඔහු නැත. චතුරස්‍රයන්හිහිදහු නොමැත. පින්තූරයක්, පිලිමයක් හෝ උදෘත පාඨයක්වත් දකින්නට නොතිබිණ. ඒ ප්‍රතාපවත් විප්ලවීය නායකයාගේ සලකුණක් සොයාගැන්මට නොහැකි විය. ඒ ෆිදෙල්ගේ විශේෂත්වයයි. මරණයෙන් පසු තමන්ගේ කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙස ඔහු නියෝගකර තිබිණ. මට පසක් වූයේ ෆිදෙල් සැමදා ජීවත්වන්නේ ලොව පීඩිතයින්ගෙ හදවත් තුළ බවයි.

ෆිදෙල් සොයා ඇවිදගිය ගමනේදී, හවානා වීදි කොනක, ෆිදෙල් කැස්ත්‍රෝ කෞතුකාගාර ප්‍රදර්ශන භූමිය සොයාගන්නට හැකිවිය. යටත්විජිත සමයේ ගොඩනගන ලද පුංචි පෞරාණික දෙමහල් මන්දිරය විප්ලවවාදියාගේ ජීවිතයෙන් සරසා තිබිණ.

1926 සිට 1950 දක්වා ළමා, ශිෂ්‍ය හා යෞවන අවධියෙන් ප්‍රදර්ශනය ආරම්භකර ඇත. 1951 සිට 1959 දක්වා ෆිදෙල්ගේ විරෝධාර විප්ලවීය අවධිය, ආදර්ශමත් ගරිල්ලා නායකයෙකු ලෙස ‘චේ, රාවුල්, කැමිලෝ’ ඇතුළු නායකත්වය සමඟ විප්ලවය මෙහෙයවූ ආකාරයත් පෙන්නුම් කරයි. පසුව, කියුබාව ගොඩනැගීමත්, ජාත්‍යන්තරවාදියෙක් ලෙස කැපී පෙනෙන ලෝක නායකයෙක් ලෙස තම කාර්යභාරය ඉටුකළ ආකාරයත් පෙන්නුම් කරයි. විප්ලවවාදියාගේ ඇඳුමේ සිට ආයුධ දක්වා ප්‍රදර්ශන භාණ්ඩද, විප්ලව යුගය හා රාජ්‍ය නායකයා ලෙස දුර්ලභ ඡායාරූප දැකගන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

ප්‍රදර්ශනය අවසානයේ පුංචි අඳුරු කුටියකට ඇතුළු වූ අපට විනාඩි කිහිපයක හැඟීම්බර අත්දැකීමක් ලබන්නට සිදුවිය. ෆිදෙල් මියගිය පසු, හියුගෝ චාවෙස්, රාවුල් කැස්ත්‍රෝ හා කියුබානු විද්වතුන් හා කලාකරුවන් ෆිදෙල් ගැන කතාකරනු කුටියේ හතරවටින් බිත්ති තිර මත විකාශය විණ. ප්‍රතාපවත් නායකයාගේ මෘතදේහයේ අළු තැන්පත්ව තිබෙන පුංචි පෙට්ටිය හවානා සිට ශාන්ත ක්ලාරා වෙත ගෙනයන පාර දෙපස කියුබානු ජනතාවගේ ආදරය, ආචාරය හා කඳුළු කියුබානු සංගීතඥයකුගේ වේදනාකාරී හැගීම් මතුවෙන සංගීත ශ්‍රවණය සමඟ මුසුව ගමන් කරමින් ෆිදෙල්ගේ මිලිටරි ඇඳුමෙන් සැරසුණු සිනහමුසු මුහුණ ඇති ඡායාරූප පෙළ අපව හැඟීම්බර කළේය. රාවුල් විසින් අළු සහිත පෙට්ටිය මත තම හිස තබා ආචාරකර තැන්පත් කිරීමෙන් දර්ශනය අවසන් විය. අප සියලු දෙනා කුටියෙන් පිටවූයේ දෑසේ රැඳි කඳුළු සමගිනි.

ඉතිහාසයේ දෘශ්‍යමාන වීරයා

දශක හතරකට වැඩි කාලයක් කියුබාවේ පාලකයා ලෙස, ෆිදෙල් තම බරටත් ඉහළින් පහරදෙමින්, එක්සත් ජනපද ජනාධිපතිවරුන් 11 දෙනෙකුගේ සහ බලයට පත්වූ ලතින් ඇමරිකානු නායකයින් 280 දෙනෙකු ඉක්මවා යමින්, 600 වතාවකට වඩා මරාදැමීමේ  උත්සාහයන්ගෙන් බේරී, සීතල යුද්ධය අතරතුර කුඩා දිවයිනට ප්‍රධාන චරිතයක් ලබා දෙමින්, ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට ගෙනගිය ඔහු, වෙනිසියුලාව, නිකරගුවාව සහ ඇන්ගෝලාව ඇතුළු මහද්වීපය හරහා රටවල් කිහිපයක ගමන්මගට බලපෑම් කළේ ය.

1960 ගණන්වල මුල් භාගයේ සිට, ෆිදෙල්ගේ ජනප්‍රියත්වය පුළුල්ව, විවිධ සමාජ ස්තතරහරහා පැතිර ගියේය. සියල්ලට වඩා, වඩාත් සාධාරණ ලෝකයක් අවශ්‍ය නොවන්නේ කාටද?  ඔහු පොරොන්දු වූ සමාජ විප්ලවය කියුබාවට ගෙන ඒමට සමත් වූවාද? යන්න පිළිබඳව විවාදයක් පවතී. ඔහුගේ විවේචකයින්ට අනුව එය ඉටු කිරීමට අසමත් වූවාද? මෙම ආකර්ෂණීය චරිතයේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ ඔහු එම අරමුණු ඉටු කරගත් බවයි.

ෆිදෙල් කෙරෙහි කෙනෙකුගේ අදහස් සහ හැඟීම් කවර ආකාරයට තිබුණත්, ලෝක ඉතිහාසය කෙරෙහි ඔහුගේ ප්‍රබල බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකිය.

සංකේතාත්මක අණදෙන නිලධාරියාගේ දේහය අළු බවට පත් කරන ලදී. ඔහු, යුගයක අවසානය පිළිබඳ බලවත් සංකේතයකි. කෙසේ වෙතත්, දෘශ්‍යමාන වීරයාවන ෆිදෙල් කැස්ත්‍රෝ ඉතිහාසයේ වඩාත්ම බලගතු චරිතයක් ලෙස දිගටම ලොව මතකයේ රැඳෙනු ඇත.

[ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සදාතනික නායකයාට වයස අවුරුදු 99 ක් සපිරෙන අගෝස්තු 13 වන බදාදා දින, කියුබාවේ හොල්ගුයින් පළාතේ පිහිටි ෆිදෙල් සහ රාවුල් කැස්ත්‍රෝගේ උපන් ස්ථානය හා කෞතුකාගාරයක් සහ සංස්කෘතික උරුම ස්ථානයක්වූ ‘බිරාන්’ ඓතිහාසික සංකීර්ණයේදී ෆිදෙල්ගේ 100 වන උපන්දින සැමරුම දක්වාවූ වැඩසටහන, දියත් කෙරේ.]

(මෙහි ඡායාරූප රාශියක් ලියුම්කරු විසින් හවානාහී “ෆිදෙල් කැස්ත්‍රෝ” කෞතුකාගාරයේදී ලබාගත් ඡායාරූපයි.)

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top