/ Apr 24, 2026

ජනාධිපති මාධ්‍ය උපදේශක මැරයා ලේක්හවුස් මාධ්‍යවේදීන්ට තඩි බාලා – SLWJA නිවේදනයක්!

ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරන චන්දන සූරියබණ්ඩාර විසින් ලේක්හවුස් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සාම පාගමන අතුරතුරදී පහරදී බිය වද්දා පළවා හැරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

2026.04.23

අනුර කුමාර දිසානායක මහතා
ගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මැරවර මාධ්‍ය උපදේශකගේ තිරශ්චීන හැසිරීම හෙළා දැකීම.

දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත තම වෘත්තීය කටයුතු සිදුකිරීමට ඇති අයිතිය අවහිර කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ඔබගේ මෙම මැරවර මාධ්‍ය උපදේශකවරයාගේ තිරශ්චීන ක්‍රියාවට දඹුල්ලේදී මුහුණපා ඇත්තේ ඔබගේම රාජ්‍ය ග්‍රහණය යටතේ පාලනය වන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා සහ තවත් එම ආයතනයේම මාධ්‍යවේදියෙකු වීම උත්ප්‍රාසජනක තත්වයකි. ඔබේ මාධ්‍ය උපදේශකවරයා මෙහිදී හැසිරී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු සතු බලතල වල සීමාව ඉක්මවා යන පරිද්දෙන් හා අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රමුඛත්වය හිමිවන පරිද්දෙන් කටයුතු කරමින්ය. මෙය ඔබේ පාලනතන්ත්‍රයේ පවතින මාධ්‍ය ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් අප සලකන අතර ඒ පිළීබඳ අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.

එමෙන්ම ඔබේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරගේ මෙම පහරදීම, පසුගිය ආණ්ඩු විසින් ගෙන ආ මර්දන අණපනත් වන ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත(PSTA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත(OSA) තවදුරටත් පවත්වා ගෙන යාම සහ වර්තමානයේ දැඩි ආණ්දෝලනයකට තුඩු දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි සමස්ත රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේම දිගුවක් බව හොඳින් පැහැදිලිය.

එබැවින් ලංකාවේ මාධ්‍ය නිදහස අහිමි කිරීම කෙරෙහි බලපාන මෙවැනි රාජ්‍ය හස්තයන් යොදවමින් සිදුකරන මැරවර ක්‍රියා අත්හිටුවීම කෙරෙහි ඔබගේ කඩිනම් අවධානය යොමු කොට මාධ්‍යවේදීන්හට තම රාජකාරිය වෘත්තීය ගෞරවයක් සහිතව සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් සකසන මෙන් ඉල්ලා සිටිමු. මේ අනුව ඔබේ රාජ්‍යයේ මර්දනයට ලක්විය යුත්තේ මෙරට ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් නොව ඔබ යටතේ මෙවැනි මැරවර ක්‍රියා සිදුකරමින් රාජ්‍යය අපකීර්තියට ලක්කරනු ලබන ඔබේ මෙම මාධ්‍ය උපදේශක වැනි නිලධාරීන් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අපි අවධාරණය කරමු.

ස්තූතියි !

මෙයට,

දුමින්ද සම්පත්​​​​​​ ​
සභාපති

රංග බණ්ඩාරනායක
​​​​​​​​ලේකම්​​​​​

1 thought on “ජනාධිපති මාධ්‍ය උපදේශක මැරයා ලේක්හවුස් මාධ්‍යවේදීන්ට තඩි බාලා – SLWJA නිවේදනයක්!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top