/ Jan 23, 2026

විමල්ගේ සත්‍යග්‍රහය අවසන්. ප්‍රතිසංස්රණ හකුළලත් නැහැ. ඇමති තනතුරේ වෙනසකුත් නැහැ!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

සත්‍යග්‍රහය අවසන් කරමින් ඔහු පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්දමමින් එය දැනට හකුළා ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පැවසීම හේතුවෙන් සත්‍යග්‍රහය අවසන් කරන බවයි. සත්‍යග්‍රහයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා හකුළා ගන්නා ලෙස ලෙස බල කිරීම බවත් එය ක්‍රියාත්මක වීම ද සත්‍යග්‍රහය අවසන් කිරීමට හේතුවක් බව විමල් වීරවංශ පවසා තිබේ.

කෙසේවෙතත් රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා බවක් නොපැවසූ අතර ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට ලක් කර 2027 සිට එය ආරම්භ කරන බවයි.

හදුන්වා දී ඇති පරිදි පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රකාශ කර තිබෙන පරිදි ක්‍රියාත්මක වන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

එමෙන්ම 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගැනීමක් පිළිබඳව රජය ප්‍රකාශ කර නොමැත.

මේ අතර විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ආමාත්‍ය ධූරයෙන් වහා ඉවත් විය යුතු බවයි. ඇය එම ධූරයට කිසිලෙසකින්වත් සුදුසු නැති බව අවධාරණය කළ අතර ඇයගේ පෞද්ගලිකත්වයට පවා විමල් වීරවංශ ඉතා අපහාසාත්මක ලෙස කතා කරන ආකරයක්ද දක්නට ලැබුණි.

නමුත් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ වෙනසක්ද සිදුව නොමැති අතර සුපුරුදු ලෙස අගමැතිවරිය අධ්‍යාපන අමාත්‍ය ධූරයේද කටයුතු කරමින් පසුවෙයි.

ඒ අනුව විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා විසින් සිය සත්‍යග්‍රහය ජයග්‍රහණය කළ බව පැවසීම ප්‍රශ්න සහගතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top