/ Oct 24, 2026

සිරගත වන භික්ෂූන්ගේ චීවරයට අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අධිකරණයෙන් වරදකරුවෙකු කරන ලද භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නව ක්‍රියාපටිපාටිය ඇතුළත් රෙගුලාසි සහිත ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වේ.

එහිදී යම් භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතු ය. එහිදී අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් දින දහයක් තුළ ප්‍රතිචාර නොදක්වන්නේ නම් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කිරීමට හැකි බව එහි දැක්වේ.

කෙසේ වෙතත්, වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ මුදාහැරීමේදී ද මෙම නියෝග අවශ්‍ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බව එම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 2511/30 – 2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා – 2026.10.20
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

(54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනත

බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් (54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 6 වන වගන්තියේ (2) වන හා (3) වන උප වගන්ති යටතේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව ශ්‍රී ලංකාවේ සියළු බන්ධනාගාරවල පරිපාලනය සඳහා සාදනු ලබන නිත්‍ය නියෝග.

ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර,
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රා.ආ)

2026 ඔක්තෝබර් මස 15 වැනි දින,
කොළඹ දී ය.

නිත්‍ය නියෝග
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග පහත පරිදි සංශෝධනය කරනු ලැබේ :-

(1) නිත්‍ය නියෝග 356 ට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් නිත්‍ය නියෝගය ඇතුළත් කිරීමෙන් :-

“356අ. යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේ දී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් විමසිය යුතු අතර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කර දින දහයක් ඇතුළත එම නිකාය හෝ පාර්ශ්වය විසින් අදාළ සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු ය. ගනු ලැබිය යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව එකී කාල සීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ විධිවිධාන අනුව කටයුතු කරනු ලැබිය හැකිය.

එසේ වුවද, වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේ දී ඉහත විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ කරගත යුතු ය.”; සහ

(2) නිත්‍ය නියෝග 550, එහි “එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල, බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනාගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතු ය.”, යන වචන වෙනුවට පහත කොටස ආදේශ කිරීමෙන් :-

“එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල, බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතු ය:

එසේ වුවද, යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවක, එකී සිරකරුවා අදාළ බන්ධනාගාරගත කරනු ලබන අවස්ථාවේ දී, ඇඳ සිටිනු ලැබූ සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබා දිය යුතු ය:

එසේම තවදුරටත්, එකී සිරකරුවා අයත් වන නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එසේ සිවුරු ඇඳ සිටීමට අනුමතය ලබා දී නොමැත්තේ නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතු ය:

එසේම තවදුරටත්, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමතය ලබාගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ සිරකරුවා සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දන්වනු ලැබිය යුතු ය.

එසේම තවදුරටත්, වෙනත් ආගමකට අයත් පූජකවරයකු වන සිරකරුවකු බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවක ඉහත විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ කරගත යුතු ය.”.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top