දැඩි ශීත කාලගුණය මැද එකඟතා කඩ කරමින් රුසියාව යුක්‍රේනයට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
යුක්‍රේනයේ අගනුවර වන Kyiv සහ එහි දෙවන විශාලම නගරය වන Kharkiv හි බලශක්ති යටිතල පහසුකම් වෙත එම ප්‍රහාර එල්ල කර ඇති බවයි යුක්‍රේන වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව රුසියාව එක රැයකින් ඩ්‍රෝන යානා 450 ක් සහ මිසයිල 60 කට වැඩි ප්‍රමාණයක් සමඟ ප්‍රහාර එල්ල කළ බව යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ කියා සිටියේ හිම සහිත කාලගුණය මධ්‍යයේ රුසියාව යුක්රේනයේ නගරවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට එකඟ වූ බවයි.
රුසියාවේ මෙම හැසිරීම හමුවේ යුක්‍රේන සාමාන්‍ය වැසියන් මහත් පීඩාවකට පත්ව සිටින අතර මෙම සටන් අවසානයක් කරා ගෙන යාමේ බලාපොරොත්තු ද බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
උක්ත රුසියන් ප්‍රහාර මහල් නිවාස තුනකට සහ ළදරු පාසලක් පිහිටි ගොඩනැගිල්ලකට හානි වී තිබේ.
පවතින තත්ත්වය මත යුක්‍රේන ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ තම වාසස්ථානවලින් පිටතට නොයන ලෙසයි.
මේ අතර Kyiv අගනුවා තාප බලාගාර දෙකකට ද හානි සිදුව ඇති බව සඳහන්.
එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සාම සාකච්ජා සඳහා යුක්‍රේන සහ රුසියන් නියෝජිත හමුවක් අබුඩාබියේදී පැවැත්වීමට නියමිත පසුබිමක මෙලෙස ප්‍රහාර එල්ල වීම එම සාකච්ජාවලටද බාධාවක් එල්ල කර තිබේ.
එකඟතා බිඳ දමමින් සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබුනේ රුසියාව සාම සාකච්ජාවලට වඩා ප්‍රහාර වෙත ප්‍රමුඛත්වය දී ඇති බවයි. “ජනතාව භීතියට පත් කිරීම සඳහා ශීතලම දිනවල වාසිය ලබා ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයට වඩා රුසියාවට වැදගත් වී තිබෙන බවයි ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ.





