/ Feb 11, 2026

LGBTQI ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපෘතියකට අනුමැතිය දුන් ලිපිය ඉවතට!

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, ඊට අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා නිකුත් කළ ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණු අතර එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අයයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ලිපිය ඉවත් කර ගන්නා බව වගඋත්තරකාර ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා පෙබරවාරි 02 වැනිදා ලිපියකින් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය මේ වනවිට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නේය.

එහෙත් එම දැනුම් දීම කෙරෙහි එකඟතාවය පළ නොකළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කනිෂ්ක විතාරණ මහතා වගඋත්තරකරු අදාළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී තිබුණත් අදාළ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු ගෙන තිබූ “තීරණය” ඉවත් කරගන්නා බවක් දැනුම්දී නැතැයි පෙන්වා දුන්නේය.

අදාළ තීරණය එසේම පවතිද්දී ලිපිය පමණක් ඉවත් කර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් තම සේවාදායකයින් මෙම නඩුකරය ගොනු කළේ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කර ගැනීමේ අරමුණින් බවත් නීතිඥ විතාරණ ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් වග උත්තරකරුගේ ස්ථාවරය විමසා මීළඟ දින දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව පෙත්සම යළි මාර්තු මස 04වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top