ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රටවල් 181ක් අතරින් 107 වැනි ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
2024 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ වාර්තා වූ නරකම ශ්‍රේණිගත කිරීම (121) ලබාගෙන තිබූ අතර, එමඟින් ලොව වඩාත්ම දූෂිත රටවල් තුනෙන් එකක් අතරට ද ඇතුළත්ව තිබිණි. 2025 වසරේදී ලකුණු 100න් 35ක් ලබා ගනිමින් ස්ථාන 14කින් ඉදිරියට ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙය මෑත වසරවලදී වාර්තා කළ සුවිශේෂීම පිම්මක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.
මෙවර එම දර්ශකය ඉදිරිපත් කිරීමේ දී එක් එක් රටවල දූෂණය සම්බන්ධයෙන් නිර්ණායක රැසක් පදනම් කරගෙන තිබෙන අතර අල්ලස, රාජ්‍ය මුදල් අපහරණය, ප්‍රතිවිපාකවලට මුහුණ නො දී පෞද්ගලික ලාභය සඳහා තම රාජ්‍ය කාර්යාලය භාවිත කිරීම, රාජ්‍ය අංශයේ දූෂණය පාලනය කිරීමට රජයන්ට ඇති හැකියාව, රාජ්‍ය සේවයේ ඥාති සංග්‍රහ ආදිය ඒ අතර වේ.





