/ Feb 11, 2026

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය : ලොකු වැඩ කරන්න කලින් ෆෝන් ආන්සර් කරන්න!

මෙරට රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍රව පවතින මැණික් කර්මාන්තය මෙරටට ඉහළ විදේශ විනිමයක් අත්කර දිය හැකි නමුත් තවමත් එය හරි හැටි සිදු නොවෙන මූල්‍ය ප්‍රභවයක් ලෙස හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් එහි පූර්ණ ධාරිතාවයෙන් තවමත් එය සිදුනොවන බවට විවාදයක් නැති අතර එයට බලපා ඇති කරුණු ගණනාවකි. ඒ අතර මේ කියන්නේ, නූතන ලෝකයේ අවම සන්නිවේදන අවශ්‍යතාවත් තවම ඔවුන් සපුරා නැති බවට කරුණු ගණනාවකුයි!

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය මෙම ක්‍රියාවලියේදී අතිශය වැදගත්කමක් ඇති ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එය සම්බන්ධ කරගැනීමට ඇත්තේ එකම එක දුරකතන අංකයකි.(0452 223 592) එයද කිසිම අවස්ථාවක ඇමතුමකට සම්බන්ධ කරගත නොහැකිය. සිය වතාවක් නාද වුවද එයට උත්තර දෙන්නට අයෙකු නැත. බලපත්‍ර සම්බන්ධ කරුණු හෝ වේවා විවිධ අවශ්‍යතා දහස් ගණනක් දුරකතනයෙන් විසඳීමට හැකියාව ඇති බව නූතන ලෝකයේ කවුරුත් දනිති. හැරත් තොරතුරු දැනගැනීම මහජන අයිතිවාසිකමකි. පතල් කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා, සිය වැඩරාජකාරි අතහැර රත්නපුර කාර්යාලය වෙත ම ගෙන්වීම ඔවුන්ගේ අභිප්‍රාය වත්ද?

දුරකතන අංක අවම තරමේ දෙකක් හෝ ලබා දී දුරකතන ක්‍රියාකරවන්නෙකු මේ සඳහා යෙදවීමට නොහැකි තරමට මැණික් කටයුතු බලන සංස්ථාව බංකොලොත්ද? මෙම දුරකතන අංකයට කිසිවෙකු පිළිතුරු නොදීමත් සංස්ථාවේ කාර්යභාරයත් ගැන ගූගල් රිවීව් කියවීමෙන් වටහාගත හැකි ය. ඉන් කිහිපයක් පහත පළ වේ.

මේ ගැන තොරතුරු සොයා බැලීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ඇමතුවද එහි දක්වා ඇති දුරකතන අංකවලින්ද එන්නේ – දුරකතන මාර්ග අවහිර වී ඇති කතාවකි.

කතාව නම් ඩිජිටල් රාජ්‍ය සේවයක් ගොඩනගන්නටය. හරිහමන් වෙබ් අඩවියක්, වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවන් කිසිවක් නැති අතර දුරකතනයට නොඑන ආයතනයක එවැනි ඒවා ගැන කතා කර පලක් නැත. එහෙත් අවම තරමේ ෆෝන් කෝල් එකක් ආන්සර් කරන්නට එකෙක් නැත. දැනටත් මේ කර්මාන්තයේ බලය ඇත්තේ මුදලාලිලා අතලොස්සක අත ය. පොදුවේ රටට ලැබෙන්නේ ඇමරිකන් ඩොලර් 300කටත් අඩු සොච්චමකි. පසුගිය දා විෂයභාර ඇමැති හඳුන්නෙත්තිද පවසා තිබුණේ කර්මාන්තය එපා වෙන තත්වයක් කර්මාන්තයේ යෙදෙන අයට ඇති වී තිබෙන බවයි.

ඇමැති හඳුන්, ෆෝන් කෝල් එකකට ආන්සර් කරන්න කෙනෙක් නැති සංස්ථාවකින් එයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔබට ද වැටහිය යුතු යි.

ලොකු ලොකු වැඩ එපා – අඩුම තරමෙ කර්මාන්තයේ යෙදෙන මිනිස්සුන්ට තොරතුරක් දැනගන්න වැඩපිළිවෙලක් හදන්න!

1 thought on “ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය : ලොකු වැඩ කරන්න කලින් ෆෝන් ආන්සර් කරන්න!”

  1. Nishadini Rathnayaka

    ලාංකේය රාජ්‍ය සේවය තුළ පවතින පරිපාලනයමය පසුගාමීත්වය විශාල අභියෝගයක් බවට පත්වී ඇත. රාජ්‍ය ආයතනයක මූලිකම වගකීම වන්නේ මහජනතාව සහ ආයතනය අතර පවතින සන්නිවේදන ප්‍රවේශය
    සුරක්ෂිත කිරීමයි.නූතන රාජ්‍ය පාලන සංකල්පයන්ට අනුව දුරකථන ඇමතුමක් යනු හුදෙක් තොරතුරු හුවමාරුවක් නොව, එය පුරවැසියා සහ රජය අතර පවතින ‘විශ්වාසයේ පාලමයි’. ආයතනයක් ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ එම ආයතනය සතු ‘මහජන වගවීම’ බිඳවැටිමෙ තත්වයයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වැනි ආර්ථිකමය වශයෙන් වැදගත් ආයතනයක් මෙලෙස සන්නිවේදන හුදකලාවක පසුවෙමින් නිද්‍රාශීලිවීම යනු ආයතනයේ සමස්ත විශ්වාසනීයත්වයම ප්‍රශ්න කීරිමකි.මෙම තත්ත්වය හුදෙක් නොසලකා හැරීමක් නොව, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ලජ්ජාවට පත් කරන වගකීම් විරහිතභාවයේ පතුලයි. මහජන බදු මුදලින් වැටුප් ලබමින්, සැප පහසු වායුසමනය කළ කාර්යාල තුළ සිට සරල දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු දීමට නොහැකි වීම ප්‍රශ්නයකි. පාරිභෝගික සන්නිවේදනය පවා ඉටු කරගත නොහැකි මෙවැනි නිලධාරීවාදී ‘මළකඳන්’ ආයතනය තුළ තබා ගැනීම, රටේ ඉදිරි ගමනට අගුළු දැමීමකි. මෙය නිද්‍රාශීලී බවක් නොව, අමු අමුවේ කරන ‘මහජන පාවාදීමකි’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top