රටේ ජනතාවට ගුණාත්මක නීති අධ්‍යාපනයක් ලබාදීම පොදු යහපතට බාධා ඇති කරන අනවශ්‍ය විසංතුලනයන් සමාජය තුළ ඉස්මතුවීම වළක්වා ගැනීමට රටක් ලෙස ඉදිරියට තැබිය හැකි දුරදර්ශි ක්‍රියාවක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා පැවසුවේය.
ජනක් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේ නීතිය සමාජගත කිරීමේ අරමුණින් නීර්තා ලෝ ඇකඩමි සහ KIU විශ්ව විද්‍යාලය සමග පවත්වන නීති අධ්‍යයන පාඨමාලාවේ දෙවන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අමතමිනි.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ය.
මෙහිදී රටේ මූලික නීතිය දැන සිටීම ඔබේ අයිතිය වෙනුවෙන් නැගී සිටීමට පදනම සපයන බවත් එමෙන්ම නෛසර්ගිකව ලැබෙන නීතියේ රැකවරණය, ආරක්ෂාව ලැබීමටත් අවශ්‍ය පදනම් සපයන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සැකකරුවෙක් අධිකරණයේ නඩු විභාගය අවසන්ව තීන්දුව ලැබෙන තෙක් සැකකරු අපරාධකරුවෙක් ලෙස සමාජය තුළ දැක්වීම කිසිලෙසකින්වත් සුදුසු ක්‍රියාවක් නොවන බවද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැහැදිලි කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත සැකකරුවෙක් වරදකරු බවට ඔප්පු කරන තෙක් සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී බවට පූර්ව අනුමාන කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා වරදකරුවෙක් බවට ඔප්පු කරන තෙක් සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී යැයි පූර්ව අනුමාන කළ යුතුයි කියල. එය හැදින්වෙන්නේ නිර්දොෂිභාවයේ පූර්ව නිගමනය ලෙසයි. මෙය ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ අනෙකුත් අධිකරණ බල ප්‍රදේශ තුළත් ඉතාම ශක්තිමත් ලෙස ස්ථාපිතව ඇති අපරාධ නීති යුක්ති මූලධර්මයයි. නමුත් ද වන විට අපට නිරීක්ෂණය වෙන්නේ සමාජය තුළ මේ මූලධර්මය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා ඔවුන් කිසියම් අපරාධයක සැකකරුවෙක් පිළිබඳ කතා කරන්නේ ඒ සැකකරුවා නිශ්චිතවම ඒ වැරැද්ද සිදුකළ අපරාධකරුවාමයි කියන පූර්ව නිගමනයේ ඉඳන්.”
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් විනිසුරුවරයෙක් ලෙස තමන් දෙයාකාර අනිසි ප්‍රතිවිපාක දකින අතර ඒ පිළිබඳව ද පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.
අදාළ සැකකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය මුහුණ දෙන අනිසි තත්ත්වය සහ අධිකරණයේ නඩු තින්දුවක විශ්වසනීයත්වයට එය බලපාන බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේය.
ඒ අනුව රටක ජනතාවට නීති අධ්‍යාපනයක් තිබීම වැදගත් බවයි එහිදී විනිසුරුවරයා අවධාරණය කළේ.
”නීතිය සහ නීතිය බලාත්මක කරන ආයතන මොනතරම් ශක්තිමත්ව තමන් සතු වගකීම ඉෂ්ට කළත් ජනතාවට නීතිය ඉදිරියේ ඇති රැකවරණය ගැන නිසි අවබෝධයක් නොමැති නම් තමන්ට අයුක්තියක් අසාධාරණයක් සිදුවන මොහොතක ඔවුන් යුක්තිය වෙනුවෙන් නීතිය ඉදිරියට එන්නේ නැත්නම් නීතියේ ආධිපත්‍ය ප්‍රායෝගික සමාජ භාවිතාවක් වෙනුවට හුදු න්‍යායාත්මක සංකල්පයක් බවට පත්වීම අපි කාටවත් වළක්වන්න බැහැ.” යනුවෙන් ඔහු පැහදිලිවම ප්‍රකාශ කරන ලදී.





