මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් ඉන්ධන භාවිතා කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස පැවතුණද මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිලේ ඉහළ යාම පිළිබඳ නිශ්චිත පුරෝකථනයක් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම,මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවය.
එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙස ඔහු අවධාරණය කළේය.
මේ අතර කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය.
“මම හිතන්නේ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ නැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශවකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ. මාස දෙකකට වඩා වැඩිය යුද්ධය යනවා. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්චාවචනය විය හැකියි. මම තෙල් ළිං අයිතිකාරයෙක්, මට ලාභ ගන්න වැඩිකරනවා නෙමෙයි මේ. එහෙම නැත්නම් තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලාබාගනීම සඳහා තෙල් වැඩිකරනවා නෙමෙයි. මම තෙල් සමාගම නෙමෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙමෙයි. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සිදුකරන්න. ඒ සැපයුම සඳහා අවශ්‍ය මූල්‍ය උපායන් සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තරව ඇතිවන කම්මපනයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පනයට මුහුණ දෙන්න තව ටිකක් කල් යයි මේ ගොඩනැගෙමින් තිබෙන වෙලාවක් අපිට කම්පනයක් ඇතිකරලා තියෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා පවසන ලදී.





