/ Mar 12, 2026

බාල ගල් අඟුරුවලින් නොරොච්චෝලේ යන්ත්‍රවලට හානියක් නැහැ – කෝප් කමිටුව කියයි

ආන්දෝලනයට ලක්වූ නිසි ප්‍රමිතියෙන් තොර බවට කියවුණු මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක්වූ අවස්ථාවේදීය.

බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටි‌න ලදී.

මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක්කර තිබුණු අතර ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කර ඇත.

මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතීතනය සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කළේය.

නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ජාතික විදුලි පද්ධතිය සඳහා 900MWකට අධික දළ ධාරිතාවක විදුලිය නිකුත් කරනු ලබන අතර රටෙහි විදුලි අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top