/ Mar 17, 2026

අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු අනෙක් භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි – වෙළෙඳ ඇමති

මැදපෙරදිග කලාපයේ යුදමය තත්වය හේතුවෙන් මෙරට සැපයුම් ජාලවලට සිදුව ඇති බලපෑම් අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩවලත් මිල වැඩිවීම් සිදුවිය හැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

මේ වන විට නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රක්ෂණ ගාස්තු ඉහළ යම හේතුවෙන් ආනයන භාණ්ඩ මිල ගණන් වෙනස්විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් තත්ත්වය දෛනිකව විමර්ශනය කරමින් පාරිභෝගිකයා වෙත භාණ්ඩ සැපයුම සඳහා වන කළමනාකරණය රජය විසින් සිදුකරන බව ද අමාත්‍යවරයා කියා සිටියි.

“දෛනිකව මේ යුද තත්වයේ වර්ධනයන් අපේ රටේ සැපයුම් ජාලාවලට තෙල් සැපයුම, ගෑස් සැපයුම විතරක් නෙවෙයි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, විශේෂයෙන් අල, ළූණු, සීනි, පරිප්පුවල ඉඳන් අපි පිටින් ගේන්නෙ. අපිට ප්‍රමාණවත් සහල් තියෙනවා. මාස තුනකට හතරකට අතිරික්ත සහල් නිෂ්පාදනයක් අපේ රටේ දැනටත් තියෙනවා. අපිට 80%ක් පමණ අල පිටරටින් ගේනවා, 80%ක් පමණ ළූණු පිටරටින් ගේනවා, 100%ක් පරිප්පු පිටරටින් ගේන්නෙ, සීනි 90%ක් පිටරටින් ගේන්නෙ. හාල්මැස්සො වගේ ඒවා අපිට සෘජු බලපෑමක් ආවා, අපි දැන් තායිලන්තයෙන් ගේන්නෙ. කලින් 70%ක් ආවෙ ඉරානයෙන්. ඉන්දියාව, පාකිස්ථානය, චීනය වගේ රටවලින් අපිට තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආවා. ඉතින් මේ සැපයුම් මාර්ගවල තියෙන තත්වය අපට පමණක් නෙවෙයි ඒ රටවල්වලටත් අදාළයි. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යම් මිල වෙනස් වීම් වෙන්න පුළුවන්කම තියෙනවා. තෙල් මිල වැඩිවුණා වගේම අනෙක් භාණ්ඩවලත් යම් සුළු වෙනස්කම් විය හැකිවෙලා තියෙනවා. ඒ නිසා අපි දෛනිකව මේ පිළිබඳ විමර්ශනය කරමින් පාරිභෝගිකයාට මේ භාණ්ඩ සැපයීම සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය කළමනාකරණය රජයක් වශයෙන් කරන්න උත්සාහ කරමින් තිබෙන්නෙ. එහෙත් දෙනිකව සිදුවන වෙනස්කම් අප මොන කළමනාකරණය කරන්න හැදුවත් බලපෑම් ඇතිකරන්න පුළුවන්” යනුවෙන් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top