/ Mar 19, 2026

එයාර් බස් ගණුදෙනුවට කපිල චන්ද්‍රසේන 02 දක්වා යළි රිමාන්ඩ් – හිටපු ජනපති මහින්ද ගැනත් හෙළිදරව්වක්!

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප්‍රේල් 02 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මේ අතර එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම අදාළ මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top