අරාබි ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදැක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද දැඩි ස්ථාවරයක සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
“අපි ඉතා පැහැදිලිවම ලෝක සාමය සඳහා උත්සාහයන්හි නියැලී සිටිනවා. මෑත දිනවල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. එම යෝජනාව සමබර එකක් නෙවෙයි. රටක් ලෙස, අපි කුඩා වුවත්, අසමතුලිත යෝජනාවලට සහාය නොදක්වන බවට අපි ස්ථිර සහ පැහැදිලි තීරණයක් අරගත්තා.”
2026 මාර්තු 11 වැනිදා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අරාබි ගල්ෆ් රාජ්‍යයන්ට සහ ජෝර්දානයට එල්ල කරන දරුණු ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය හෙළා දකිමින්, වහාම සටන් විරාමයක් ඉල්ලා සිටි යෝජනාවක් සම්මත කර තිබේ.
එක්සත් ජනපද-ඊශ්‍රායල ක්‍රියාමාර්ග පිළිබඳ සඳහනක් නොමැතිකම හේතුවෙන් එය ‘අසමතුලිත’ යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකාව, තවත් රටවල් කිහිපයක් සමඟ යෝජනාවට අනුග්‍රහය දැක්වීමට එක්නොවීය.
ගැටුමේ වගකීම තනි පාර්ශ්වයකට පැවරිය යුතු නැති බවයි විදේශ අමාත්‍යවරයා පැවසුවේ.
“දෙපාර්ශ්වයම වගකිව යුතුයි. යුද්ධය ආරම්භ කිරීමට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි කර තිබෙනවා. එබැවින්, මෙය එක් පැත්තකට පමණක් දොස් පැවරිය නොහැකියි. යුද්ධය නැවැත්වීම සඳහා, නොවෙනස් ස්ථාවරයක් පවත්වා ගත යුතුයි,” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.
ඒ අනුව අන්තර්ජාතික ප්‍රජාව තුළ තම ස්ථාවරය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය පවත්වා ගෙන සිටින බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
“කිසිම අවස්ථාවක අපි අපේම රටට එරෙහිව යන ස්ථාවරයක් ගෙන නැහැ. අන්තර්ජාතික සාකච්ඡා අතරතුර, ප්‍රශ්න මතු වූ විට, අපි අන්තර්ජාතික නීතියට අනුකූලව ක්‍රියා කරන බව පැහැදිලිව සහ ප්‍රවේශමෙන් ප්‍රකාශ කළා,” යැයි අමාත්‍යවරයා පැවසීය.





